Tuesday, July 17, 2018

I miss you Charly



කොහෙන් පටන් ගන්නද මං දන්නේ නැහැ . ඒත් අවුරුදු 17 කට කලින් මං මුලින්ම ආදරේ කලේ එයාට ඒ දවස් තාමත් හීනයක් වගේ , අපේ අම්මා කොච්චර අපි දෙන්නව වෙන්කරන්න හැදුවද ඒ දවස්වල ..”මොකක්ද මේකේ තේරුම හුරතල් වෙවී ඉන්න පස්සේ දැන් පාඩම් කරන්න “ විභාගේ කිට්ටු නිසා අම්මට ඕනේ වුණේ මාව චාලිගෙන් ඈත් කරන්න . චාලි දන්නවා අම්මා එයාට කැමති නෑ කියලා ;අම්මා විතරක් නෙමේ අපේ ගෙදර කිසිම කෙනෙක් එයාට කැමති නෑ. මං පාඩම් කරද්දී තේ එකක් හදාගෙන හෝ මට මොනාහරි කියන්න අම්මා කාමරේට එන්න කලින් එයාගේ අඩි සද්දේ එද්දිම චාලි හැංගෙනවා. එයා සෑහෙන්න බයෙන් උනත් මට තිබ්බ ආදරේ හින්දා අපේ ගෙදර උදවියගේ කෙනෙහිලිකම් ඉවසන් හිටියා. 


මං උදේට ඉස්කෝලේ ගියාම එයා නිදාගන්නවලු චෙරි ගහ යට බංකුවේ. මා හැර චාලිට ආදරේ කල අනිත් කෙනා තමයි ආච්චි අම්මා මං ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකල් නිදාගන්නම හුරුවෙලා හිටපු චාලි ටිකක් එහෙට මෙහෙට ගෙයින් එළියට ගියේ ආච්චි අම්මා එක්ක. මේ දේවල් ලියද්දි මට එයාගේ ඇස් දෙක මැවිලා පේනවා .එයා කවදාවත් මට කටින් නොකිවුවට එයාගේ ආදරේ මට දැනුනා. මං ඉස්කෝලේ ඇරිලා එන වෙලාව වෙද්දී චාලි ගේට්ටුව ළඟ උඳු පියලිය ගොල්ලට වෙලා බලන් ඉන්නවා , එහෙම මං එනකල් කවුරුත් මඟ බලන් ඉඳලා නෑ.


ඊට පස්සේ දවල්ට අපි දෙන්නා එක්ක කෑම කාලා කාමරේට යනවා පොතක් අතට අරන් ටිකකින් නිදිමත ආවම මං එහෙම්ම ඇඳේ හාන්සි වෙනවා .හවස හතරට පහට මං ඇහැරෙන්නේ අම්මගේ සුපුරුදු ගෝරනාඩු සද්දේ එක්ක . අම්මා කාමරේට එන්න කලින් චාලි ඇඳෙන් බැහැලා හැංගුනාට අම්මා දන්නවා එයා මං ළඟ හිටියේ කියලා. කෑ ගැහුවත් අම්මා තේ එකක් ගෙනත් දෙනවා ආයෙම ඇවිත් . තේ එක බොනගමන් මං ඉස්කෝලේ වැඩ කරද්දී චාලි මේසේ යටින් ඇවිත් මගේ කකුල් වල ඇතිල්ලෙනවා... එයා හුස්ම ගන්න සද්දේ එක්ක ඒ ස්පර්ශයට මං මාර ආසයි ඒ කාලේ. කිචි කිචි වගේ මතක් වෙද්දී . ඒත් අද චාලි මං ළඟ නෑ එයාගේ මතක විතරයි. එයාගෙන් පස්සේ මං ආයේ කිසිම කෙනෙක්ට එච්චර ආදරේ කරේ නෑ.තුරුල් කරගෙන ඇති ,කිස් කරලත් ඇති ඒත් චාලිව දැණුනු තරම් මට වෙන කිසිම පූසෙක්ව දැනිලා නෑ.

පසු වදන

ගෙදර අය මට හිනා වුණා පුසෙක්ට දාන නමක්ද ඔය දාලා තියෙන්නේ කියලා . 98-2001 කාලේ කොටස් වශයෙන් විකාශය වෙච්ච German television series එකක් තිබ්බාHeliCopsකියලා (ලින්ක් එක ක්ලික් කරලා බලන්න ඕනේ නම් ) . ඒකෙ හිටපු නළුවාගේ නම චාර්ලි (Christoph M. Ohrt

) මං පිස්සුවෙන් ඒක බැලුවේ . මැදිවියේ නළුවෙක් උනත් පුදුම ආකර්ෂණයක් තිබ්බේ ඒ නළුවට. හි හි . ඉතින් ඒ නිසාමයි මට අහම්බෙන් ලැබුණු පූස් පැටියට චාලි කියලා නම් දැම්මේ. ඇත්තටම චාලි පූසෙක් උනත් වචනයක් මං එක්ක කතා නොකලත් , මට ගොඩක් කිට්ටුවෙන් හිටියා. ඊට පස්සේ මං සති දෙක තුනක් ගෙදරින් පිට ගිහින් ඉඳලා එද්දී චාලි ලෙඩ වෙලා හිටියා ආච්චි අම්මා කිවුවා කෑවේ බිවුවේ නෑ ඔහේ බලාගත්ත අත බලන් හිටියා කියලා. චාලි මැරුණේ මං නිසා කියන එක මගේ හිතට වදයක් වුණත් මං දුක් වුණාට චාලි ආපහු එන්නේ නෑනේ. පාරේ යද්දී පූසෙක් දකින හැම වෙලාවකම මං ඒ ඇස් වල බලනවා චාලි වගේද කියලා තාම හම්බුනේ නෑ ඒ පාට ,ඒ වගේ ඇස් තියෙන පූසෙක්.


චාලි ඉද්දි තව ගෙදර පූසෙක් හිටියා අම්මගේ . ඒ පුසා කවදාවත් චාලි එක්ක යාලු වුණේ නෑ කලේ නපුරු කම්මයි. අපේ වත්තේ හරියට ලේන්නු , දෙමලිච්චෝ හිටියා ඒ කාලේ චාලි වගේම අර කැත පූසත් ඔය සත්තුන්ට කුරුමානම් අල්ලනවා පැය ගණන් . ඊට පස්සේ අම්මා උදේට ගේ අතුගානකොට මේස යට ,ඇඳන් යට තිබිලා ලේන්නුන්ගේ නැටි හම්බුනාම ,දෙමලිච්චන්ගේ තටු හම්බුණාම ඒවා මං ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් කියනවා “ හදන කෙනා වගේම තමයි කරන තරමක් කරන්නේ පවු වැඩ. “ අනිත් පුසා කරන වැරදිත් චාලිගේ ගිණුමට හැමදාම බැර වුණා. කාලයක් තිස්සේ මල්ලිගේ මාළු ටැංකියේ මාළු කාපු එකටත් චාලිව ඇල්ලුවා. ඇත්තටම මං දැකලා තියෙනවා චාලි අත දානවා. ඒත් අම්මගේ පූසත් ඒ වැඩ ඔක්කොම කළා .ඒ පුසගේ නම රෝසි හරි මොකක්හරි විකාරයක් තිබ්බේ . ගෙදර මුලාදෑනියා වගේ හිටියේ. එයා සාලේ නම් චාලි එක පාරට මගේ කාමරෙන් එළියට එද්දී නැගිටලා මුණ දිහා ඔරෝලා ආයේ ඇහැක බලාගන්නවා. චාලි කලේ අයින් වෙලා පයින් යන්නම් කියලා ශේප් එකේ.


චාලි වලලපු තැන මං කජු පැලයක් හිටෙවුවා. ඒ කජු පලේ දැන් ගොඩක් ලොකුයි , වෙලට කිට්ටුව වත්ත පහළට එන්න. කොහොමහරි ඒ කජු ගහ ටික ටික ලොකුවෙද්දී පැත්තකට පෙරළුනා. ඒකෙ එක ලොකු අත්තක් පොලවට සමාන්තරව වැවෙන්න පටන් ගත්තා අනිත් කොටස් සාමන්‍ය ගස් වගේ වැවුණා. ඒ කලින් කියපු අත්ත උඩ නැගලා එහෙට මෙහෙට අවිදින්න පුළුවන්,, වෙල් යය අයිනේ නිසා ඒ අත්ත උඩ දිගාවෙලා නිදාගත්තම හරිම ශෝක්. හැන්දෑවට හරි ලස්සනයි එතන. අදටත් ගෙදර අය ඒ ගහට කියන්නේ චාලි ගේ කජු ගහ කියලා. ඔය කජු ගහේ ගිය ෆැෂන් වලේ කථාවකුත් තියෙනවා ,,හි හි හි හි පඳුරු තැලුවා ඇති.

6 comments:

  1. ලස්සනයි, කාලෙකින් ආවේ. බ්ලොග් එකේ පොඩි අවුලක් තියේ, සෙටින්ග්ස් හදාගත්තා නම් හරි ඔමායා. ඊයේ පොස්ට් එකේ අකුරු පොඩි කියලා තිබ්බ කමෙන්ට් නිසා ලොකු කරන්න ඇති මම හිතන්නේ. theme එකේ adjust widths සයිස් එකට හරියන්න දා ගත්තා නම් හරි.

    ReplyDelete
    Replies
    1. ඔව් හදන්න ඕනේ,මට මේ ටිකේ අසනීපයි මේ පැත්තේ ආවෙම නෑ. තැන්කිව් මංගලා/

      Delete
  2. සිංගා,කොටියා,චුටි,චිකූ,සැලී - පුසෝ (සිංගා,චුටි මේ වෙනකොට අපි අතර නෑ)
    වින්කි,ඩෆි,හොබී,යැකී,දුබුරු - බල්ලෝ (හොබී මේ වෙනකොට අපි අතර නෑ)

    මේ අපේ අයගේ නම්,ඔයිට ලගින් යනවා වගේ....

    ReplyDelete
    Replies
    1. ඔයත් ආසයිද පූසන්ට

      Delete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...