Wednesday, June 27, 2018

පෝදා මතක with අම්මා

පෝය දවසට පහුවදාට ඉස්සර අපි අම්මගෙන් ගුටිකන බැනුම් අහන දවසක් වෙලා තිබ්බා. ඒ අම්මා එයාගේ යාලුවෝ කීප දෙනෙක් එක්ක පෝයට සිල් ගන්න හුරුවුණාට පස්සේ.
එයා සිල් ගන්න යනව නම් අපිට උයලා යන්න ඕනේ කියලා අපි නීතියක් දාලා තිබ්බා. අම්මා අපි පව් හින්දා උයල යන්න ඇති අපි ලොක්කො වගේ නීතී දැම්මා කියලා හිතුවට. සමහර දවස් වලට එයාල උයලා යන්න ඇහැරෙන්නේ නැහැ. එහෙම දවසට අපිට උදේ කෑමටයි දවල්ටයි දෙකටම සල්ලි හම්බෙනවා. අපි දෙන්නා කරන්නේ උදේට ආච්චි අම්මලගේ දිහා ගිහින් මොනා හරි කාලා ටිකක් එහෙට මෙහෙට කැරකිලා ආයේ ගෙදර ඇවිත් ටීවී බලන එක. ඒකාලේ ගෙදර ලෑන්ඩ් ෆෝන් එකයි අම්මා පන්සල් අරන් ගිය ෆෝන් එකයි විතරයි තිබ්බේ. අපි දෙන්නට ෆෝන් තිබ්බේ නෑ. ටීවී එකයි ඩෙක් පීස් දාගෙන රෙස්ලින් ,හින්දි චිත්‍රපටි බලන එකයි තමයි වැඩේ. ඉරිදට සෙනසුරාදට අම්මා දවල් වෙද්දී කෑ ගහනවා
"දැන් මදැයි ඕක බැලුවා"
"අනේ අම්මේ තව ටිකයි"
"හරි ඕක බලලා කඩේට ගිහින් එන්න".
ඊට පස්සේ හැම විනාඩි පහකටම සැරයක් කනක් ඇහිලා ඉන්න නෑ.කෝ තාම ගියේ නැද්ද ? "අනේ දෙයියනේ මෙහෙමත් ළමයි.....තව කියෝනවා අපි දෙන්නා ඇහුනේ නෑ වගේ ඉන්න බැරිම තැන කවුරුහරි කඩේට ගිහින් එනවා.
ඔය විදියට දවල්ටත් ආච්චි අම්මා අපිට කන්න දෙනවා. අම්මා දීපු සල්ලි තියාගන්නවා මොනාහරි කඩචෝරු කන්න. මල්ලි මට වඩා ගොඩක් බාල නිසා මං නිතර උත්සහ කරේ වැඩි පංගුව මං ගන්න. ඒත් සමානව නොදුන්නොත් අම්මට කියනවා කියලා තර්ජනේ කරලා මල්ලි මගෙන් හරියටම බාගයක් ගන්නවා.

ඊට පස්සේ අම්මා උදේ 11 ට විතර කෝල් කරලා අහනවා
"නැගිට්ටද " ඊට පස්සේ තව පැය කාලකින් විතර ආයේ අරන් අහනවා
"කෝ හරක් බැන්ඳද ? .. පව් ගස් වල උන් වේලෙනවා ඇති....අද පෝය දවසෙවත් එහෙමවත් දෙයක් කරන්ඩලකෝ"....
සිල් අරන් නිසා ටිකක් සද්දෙ අඩුවෙන් කියන්නේ. අපි ගොඩක් වෙලාවට කරේ කොස් ගහෙන් අතු දෙක තුනක් ඇදලා හරක්ට දීලා වතුර බාල්දි දෙක තුනක් දීලා උන්ව ඉන්න තැන් වලම ඉන්න අරින එක. ගහෙන් ලෙහුවොත් එහෙ මෙහෙ දුවනවා අපිට කන්ට්‍රෝල් කරගන්න බැහැ. එපා වෙනවා අතපය සූරගන්න වෙනවා. කොස්කොළ උන් කාගෙන කාගෙන ගියේ නැහැ ,හිමින් හිමින් කෑවේ. සමහර දාට අපි එහා පැත්තේ අන්නාසි කොටුවට පැනලා කෙහෙල් ගහකින් අතු කපන් ඇවිල්ලා හරක්ට දුන්නා. හරක්ටත් මාසෙකට දවසක් පෝයට ගස් වලම ඉන්න සිද්දවුණා.
පෝයට ටීවී එකේ චිත්‍රපටි නැති නිසා ඩෙක් පීස් බැලුවේ වැඩිපුර.

අම්මා සිල් ගන්න ගියාම හවස පහමාර හය පහුවෙලා තමයි ගෙදර එන්නේ. ඒ එන වෙලාවට කලින් කෝල් කරලා කියනවා හවස් වෙන්න කලින් හරක් ටික බැඳලා හිටපු තැන් වලින් ලෙහාගෙන එන්න කියලා. අපි අර කොස් අතු කෑලි කෙහෙල් පිති එහෙම විසි කරලා ආයෙම හරක්ට බොන්න වතුර දීලා නවතින්නේ නැහැ. ගේ ඉස්සරහා මිදුලේ තේක්ක ගහෙන් වැටිලා තියෙන කොළ අතින් ටක් ටක් ගාලා එකතු කරලා කුණු ගොඩට විසි කරලා ඉදලෙන් එහෙට මෙහෙට ඉරි ටිකක් ඇඳගෙන යනවා මිදුල එහෙම අතුගාපු බව පේන්න.
පෝය දවස නිසා අම්මා කෑ නොගහා හිටියත් පහුවදාට එයා පටන් ගන්නවා අපි දෙන්නට හැම දේටම කෑ ගහන්න. සිල් ගන්න ගියාම එයාට හම්බෙන උපාසකම්මලා එයාගේ ඔළුව වෙනස් කරලා එවනවා කියලා හිතලා අපි හිත හදාගත්තා.

සමහර දවස් වලට අම්මා අපිට හේතුවක් නැතුව බයින්න පටන් ගන්නවා අහල පහළ ගෙවල් වල ඉන්න ළමයි දෙමවුපියන්ට කරන උදව් ,හැමදාම ඉස්කෝලේ යන්න කලින් ගෙදර කරලා යන වැඩ ගැන කිය කියා. ඔයාලටත් ඒ වගේ අම්මලා බැනලා ඇති. අපි නිතරම අම්මා එක්ක එකට එක කිවුවා රණ්ඩු කරා. අම්මා පේර කෝට්ටක් කඩාගෙන ගහන්න එලවනවා ඒ වගේ එයාගේ කේන්තිය වැඩි වුණාම. අපි බයට දුවනවා ගුටි කන්න බැරි නිසා. ඒත් අම්මට අපි පස්සේ දුවලා මහන්සි වෙද්දී එයා නැවතිලා කියනවා "දුවන්න එපා ගහන්නේ නෑ ,හැබැයි මාව මහන්සි කරන්න එපා "කියලා.
"ඉතින් දිවුවේ නැත්තන් ඔයා ගහනවනේ "කියලා අපි අපිටම කියාගන්නවා. කොහොමහරි ටිකක් පන්නලා අම්මා කෝට්ට විසි කරලා ගෙදර යනවා අපි ඉතින් හිමීට පූසෝ වගේ දුරින් ඉන්නවා හොරගල් අහුල අහුල ගේ ඇතුලට එන්නේ නැතුව. පස්සේ දවල් වෙලා අම්මා උයලා ඉවරවෙලා "හා ඇති දැන් ඇවිත් කන්න ,හැබැයි ආයේ මං කියන්නේ නෑ." අපි මුල් දවස් වල අම්මගේ ඒ වචන වලට රැවටිලා ගේ ඇතුලට යනවා .ඊට පස්සේ අම්මා දොර මුල්ලේ ඉඳලා අල්ලගන්නවා. මුලින් ගෙට ගිය කෙනා අම්මට අහුවෙනවා. "අම්මටත් ටිකක් හිනා අපිට බයට හිනා යනවා.

කෙසේ හෝ ඒ කාලේ නොතේරුණාට ,තේරුම් ගන්න බැරිවුණාට කාළය ගතවෙලා වයසින් මුහුකුරා යද්දී ,අම්මගෙන් ඈත් වෙලා ඉන්න පටන් ගත්තම තමයි තේරුණේ තාත්තා ගෙදර නැතුව අපි දෙන්නවත් බලාගෙන ,ආච්චි අම්මගෙන් ,එයාගෙම සහෝදරයන්ගෙන් වෙච්ච හිත් රිදීම් ඉවසගෙන එයා ගත කරපු ඒ ජීවිතේ කොච්චර කටුකද කියලා.
ගෙදර කිසිම වැඩකට අපි අම්මට උදව් කරේ නෑ හරියට ,ඒ කාලේ එයාව අපිට පෙනුණේ අපේ නිදහසට බාද කරන ,අපිව මට්ටු කරන්න ආපු කෙනෙක් වගේ.හැබැයි මං දැන් නම් අම්මගේ හිත පොඩ්ඩක්වත් රිද්දනේ නැහැ. එයා මට කෝල් කරන හැම වතාවකම ගොඩක් සතුටින් තමයි ගෙදර දොරේ ,ගමේ ගොඩේ ඔක්කොම විස්තර මට කියන්නේ. ඒ වගේ කථා කරන සමහර වෙලාවල පරණ සිද්දි මතක් කරලා අපි හිනාවෙද්දි මගෙන් අම්මට වෙච්ච වැරදි ගැන මං පසුතැවෙන බවත් ,ඒ කාලේ මං කොච්චර මෝඩ විදියටද හැසිරුණේ කියන එකත් එයාට ආයෙම මතක් කරනවා.
අතීතයේ නරක මතක කටුගාලා දාන්න වර්තමනයේ ඉඩ ලැබෙනවා. ඒක මහ පුදුම සතුටක්. අපේ අම්මා දැන් ඉන්නේ සම්පුර්ණ සතුටෙන්ද කියලා මං හරියටම දන්නේ නැහැ. ඒත් එයාව දැක්කම කථා කරද්දී තේරෙනවා එයා දුක් වෙන්නේ නැහැ කියලා.

(අපි දෙන්නා වගේ වල්ඌරු පැටව් දෙන්නෙක් හදපු එක ගැන.)

,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...