Tuesday, August 7, 2018

කැදැල්ල

"අද බැංකුවේ හරියට සෙනග" "හප්පා ඊට හපන් අවුරශ්නේ' 


"හෙට පුතාලා එනවා කිවුව හින්දා ඔන්න මස් කිලෝ එකකුත් අරන් ආවා" මහන්සියෙන් ගෙට ගොඩ වෙච්ච ගුණතිලක බඩු මල්ල උදුලා අතට දීලා ඉස්තොප්පුවෙන්ම වාඩි වුණා.
"ඈ උදුලා පුතාලා හෙට එනවම කිවුවද හැබෑට ?" 
"එනවනම් කිවුවා ඉතින් පුතා ඒවි". 
"කී සැරයක්නම් එනවැයි එනවැයි කීවද කෝ ආවද ? 
"ඒ දරුවන්ටත් හරියට වැඩ රාජකාරි පොඩි එකී සිස්සත්තෙ ලියන්න ඉන්නේ මයේ හිතේ. පුතා ඉරිදා සෙනසුරාදත් වැඩ කරනවා කියන්නේ .ඒ දරුවෝ එයි හෙමීට" 

'මේ දෙහි වීදුරුව බීලා හිටින්න මහත්තයා'
ගුණතිලක අතට දෙහි වීදුරුව පෑ උදුලා සුපුරුදු පරිදි ගුණතිලක ලගම තිබුණු කුඩා පුටුවේ වාඩි වුණේ මද සිනහවකුත් සමගයි. 

'ලිඳ ගාව බේසමේ වතුර පුරෝලා තියෙනවා ඕක බීලා ගිහින් මුණ කට ටිකක් හෝදගෙන හාන්සි වෙන්න ගුණේ."
'හ්ම්ම් මුළු ඇගම තලදාලා වගේ ,බොහොම පිං' සීතල වතුර ගුණතිලකගේ ගත මෙන්ම සිතද පුබුදු කලසෙයක් පෙනුණි. 
'මං නංගිලගේ දිහා ගිහින් එන්නම් ඔයා ටිකක් හාන්සිවෙලා ඉන්නකෝ' 

අලිගැටපේර ගෙඩි කීපයක් කවරෙක්ට දාගත්ත උදුලා පිටිපස්ස ගේට්ටුවෙන් පිටත් වුණේ නන්දාවතී ලගේ වෙරළු ගහෙන් වෙරළු අහුලගෙන ගිහින් නංගිගේ පුංචි මිණිබිරියන් දෙදෙනාට දීම පුරුද්දක් කරගෙන සිටි නිසාය. 
උදුලා දුරදීම දකින දැරියන්ගේ ඇස් සතුටින් පිනායන්නේ උදුලා ඔවුන්ට දක්වන අප්‍රමාණ සෙනෙහස නිසාමය
...............................................................................................

විවාහයෙන් වසර තුන හතරක් ඉක්ම ගියත් උදුලා දරුවන් නොලැබුවාය. දවසින් දවස ගුණතිලකගේ පවුල තුල උදුලා කොන් වුවාය. ගුණතිලකගේ නංගිගේ දරුවාගේ කිරිබාරේ දවස ඇගේ ජීවිතයේ අතෘප්තකරම දිනය වුවාට සැක නැත.

"බැඳලා අවුරුදු කීයක්ද ..තාම කෝ ඉතින්""ඔය ඉන්නේ ලොකු ලේලී ...වඳයි""රන්දුණුපිටිය මුදලාලිගේ පරම්පරාවටම පිරිමියෙක්ට ඔච්චරයි අපරාදේ ""අපි මුලින් කීවා කොහෙද ඇහුවේ නැහනේ...විස්ස්විජ්ජාල වල ගිහින් කරගත්ත මගුල්නේ ඕවා"

කිරිඅම්මාවරුන්ගේ කතාබහ අතර ඇගේ හදවත කෑලි කෑලි වී ඇත්තාසේය.
"අපි දරුවෙක් අරන් හදාගමු ගුණේ.ඒ ඔයාගේ උපන් හැටිනේ ..මොනවා කරන්නද අපි "දොස්තර මහත්තයා කීවනේ තවත් සල්ලි වියදම් කරලා වැඩක් නැහැ කියලා. "ඔයාලගේ අම්මල නංගිලා කියන කතා තවත් මට අහන් ඉන්න බැහැ ගුණේ;අපි යමු අපේ මහගෙදර අම්මයි අප්පච්චියි ඉන්නෙත් තනියම....හ්ම්ම්
...............................................................................
අපි පොඩි දරුවෙක් අරන් හදාගමු ගුණේ..නොනවත්වා කරන මේ ඇවටිල්ල කෙලවර වුයේ පුංචි පිරිමිදරුවෙක් ගෙදරට ගෙන ඒමෙන්ය.
"දැන් ඇගේ මුහුණ පිරිපුන්ය,ඇයට කල්පනා කරන්න ,හඬන්න තබා ගුණපාල සමග නෝක්කාඩු කීමටවත් කාලයක් නොමැත...දරුවා සමග කෙලිදොලෙන් දවස ගෙවන උදුලා දකින ගුණපාලගේ සිත සතුටින් පිනා යයි. තමුන් වෙනුවෙන් වඳ ගැහැණියක ලෙස සමාජයෙන් ,පවුලෙන් කොන් වුණත් කිසිම දවසක ඒ වරද තමා පිට පටවන්නේ නැතුව සියල්ල දරාගත් උදුලා ගුණපාලගේ ජීවිතය තුල දේවතාවියක් ලෙස වැඩ හිඳී.
"ගුණේ හෙට පුතා උපාධිය ගන්නවා " 
"ගුණේ පුතාලා කියන්නේ කසාදෙන් පස්සේ කොළඹ පදිංචියට යනවා කියලා"කාළය මැනවින් තම කාර්‍ය ඉටුකරමින් ඔවුන් වියපත් කර හමාරය
............................................................................................

වෙරළු කඳ මැද්දෑවේ හැමදාමත් දකින ගිරා කූඩුව හොඳටෝම නිශ්ශබ්දය .. දින කීපයකට උඩදී බෙනය ඇතුලේ ඉඳ මුව අයා කෑමට කටහැරි පුංචි ගිරා පැටවුන්ගේ ගෝරනාඩුව අද නැත... නියඟට කොළ හැළුණු ලුණුමිදෙල්ලා ගස් අග්ගිස්සේ අකීකරු හුළගට අනුව පැද්දෙමින් සිටි ගිරා ජෝඩුව දෙස මොහොතක් බලාසිටි ඇය වෙරළු ගෙඩි කීපයක් අහුලා අලිගැට පේර මල්ලටම දමාගත්තාය.

Tuesday, July 17, 2018

I miss you Charly



කොහෙන් පටන් ගන්නද මං දන්නේ නැහැ . ඒත් අවුරුදු 17 කට කලින් මං මුලින්ම ආදරේ කලේ එයාට ඒ දවස් තාමත් හීනයක් වගේ , අපේ අම්මා කොච්චර අපි දෙන්නව වෙන්කරන්න හැදුවද ඒ දවස්වල ..”මොකක්ද මේකේ තේරුම හුරතල් වෙවී ඉන්න පස්සේ දැන් පාඩම් කරන්න “ විභාගේ කිට්ටු නිසා අම්මට ඕනේ වුණේ මාව චාලිගෙන් ඈත් කරන්න . චාලි දන්නවා අම්මා එයාට කැමති නෑ කියලා ;අම්මා විතරක් නෙමේ අපේ ගෙදර කිසිම කෙනෙක් එයාට කැමති නෑ. මං පාඩම් කරද්දී තේ එකක් හදාගෙන හෝ මට මොනාහරි කියන්න අම්මා කාමරේට එන්න කලින් එයාගේ අඩි සද්දේ එද්දිම චාලි හැංගෙනවා. එයා සෑහෙන්න බයෙන් උනත් මට තිබ්බ ආදරේ හින්දා අපේ ගෙදර උදවියගේ කෙනෙහිලිකම් ඉවසන් හිටියා. 


මං උදේට ඉස්කෝලේ ගියාම එයා නිදාගන්නවලු චෙරි ගහ යට බංකුවේ. මා හැර චාලිට ආදරේ කල අනිත් කෙනා තමයි ආච්චි අම්මා මං ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකල් නිදාගන්නම හුරුවෙලා හිටපු චාලි ටිකක් එහෙට මෙහෙට ගෙයින් එළියට ගියේ ආච්චි අම්මා එක්ක. මේ දේවල් ලියද්දි මට එයාගේ ඇස් දෙක මැවිලා පේනවා .එයා කවදාවත් මට කටින් නොකිවුවට එයාගේ ආදරේ මට දැනුනා. මං ඉස්කෝලේ ඇරිලා එන වෙලාව වෙද්දී චාලි ගේට්ටුව ළඟ උඳු පියලිය ගොල්ලට වෙලා බලන් ඉන්නවා , එහෙම මං එනකල් කවුරුත් මඟ බලන් ඉඳලා නෑ.


ඊට පස්සේ දවල්ට අපි දෙන්නා එක්ක කෑම කාලා කාමරේට යනවා පොතක් අතට අරන් ටිකකින් නිදිමත ආවම මං එහෙම්ම ඇඳේ හාන්සි වෙනවා .හවස හතරට පහට මං ඇහැරෙන්නේ අම්මගේ සුපුරුදු ගෝරනාඩු සද්දේ එක්ක . අම්මා කාමරේට එන්න කලින් චාලි ඇඳෙන් බැහැලා හැංගුනාට අම්මා දන්නවා එයා මං ළඟ හිටියේ කියලා. කෑ ගැහුවත් අම්මා තේ එකක් ගෙනත් දෙනවා ආයෙම ඇවිත් . තේ එක බොනගමන් මං ඉස්කෝලේ වැඩ කරද්දී චාලි මේසේ යටින් ඇවිත් මගේ කකුල් වල ඇතිල්ලෙනවා... එයා හුස්ම ගන්න සද්දේ එක්ක ඒ ස්පර්ශයට මං මාර ආසයි ඒ කාලේ. කිචි කිචි වගේ මතක් වෙද්දී . ඒත් අද චාලි මං ළඟ නෑ එයාගේ මතක විතරයි. එයාගෙන් පස්සේ මං ආයේ කිසිම කෙනෙක්ට එච්චර ආදරේ කරේ නෑ.තුරුල් කරගෙන ඇති ,කිස් කරලත් ඇති ඒත් චාලිව දැණුනු තරම් මට වෙන කිසිම පූසෙක්ව දැනිලා නෑ.

පසු වදන

ගෙදර අය මට හිනා වුණා පුසෙක්ට දාන නමක්ද ඔය දාලා තියෙන්නේ කියලා . 98-2001 කාලේ කොටස් වශයෙන් විකාශය වෙච්ච German television series එකක් තිබ්බාHeliCopsකියලා (ලින්ක් එක ක්ලික් කරලා බලන්න ඕනේ නම් ) . ඒකෙ හිටපු නළුවාගේ නම චාර්ලි (Christoph M. Ohrt

) මං පිස්සුවෙන් ඒක බැලුවේ . මැදිවියේ නළුවෙක් උනත් පුදුම ආකර්ෂණයක් තිබ්බේ ඒ නළුවට. හි හි . ඉතින් ඒ නිසාමයි මට අහම්බෙන් ලැබුණු පූස් පැටියට චාලි කියලා නම් දැම්මේ. ඇත්තටම චාලි පූසෙක් උනත් වචනයක් මං එක්ක කතා නොකලත් , මට ගොඩක් කිට්ටුවෙන් හිටියා. ඊට පස්සේ මං සති දෙක තුනක් ගෙදරින් පිට ගිහින් ඉඳලා එද්දී චාලි ලෙඩ වෙලා හිටියා ආච්චි අම්මා කිවුවා කෑවේ බිවුවේ නෑ ඔහේ බලාගත්ත අත බලන් හිටියා කියලා. චාලි මැරුණේ මං නිසා කියන එක මගේ හිතට වදයක් වුණත් මං දුක් වුණාට චාලි ආපහු එන්නේ නෑනේ. පාරේ යද්දී පූසෙක් දකින හැම වෙලාවකම මං ඒ ඇස් වල බලනවා චාලි වගේද කියලා තාම හම්බුනේ නෑ ඒ පාට ,ඒ වගේ ඇස් තියෙන පූසෙක්.


චාලි ඉද්දි තව ගෙදර පූසෙක් හිටියා අම්මගේ . ඒ පුසා කවදාවත් චාලි එක්ක යාලු වුණේ නෑ කලේ නපුරු කම්මයි. අපේ වත්තේ හරියට ලේන්නු , දෙමලිච්චෝ හිටියා ඒ කාලේ චාලි වගේම අර කැත පූසත් ඔය සත්තුන්ට කුරුමානම් අල්ලනවා පැය ගණන් . ඊට පස්සේ අම්මා උදේට ගේ අතුගානකොට මේස යට ,ඇඳන් යට තිබිලා ලේන්නුන්ගේ නැටි හම්බුනාම ,දෙමලිච්චන්ගේ තටු හම්බුණාම ඒවා මං ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් කියනවා “ හදන කෙනා වගේම තමයි කරන තරමක් කරන්නේ පවු වැඩ. “ අනිත් පුසා කරන වැරදිත් චාලිගේ ගිණුමට හැමදාම බැර වුණා. කාලයක් තිස්සේ මල්ලිගේ මාළු ටැංකියේ මාළු කාපු එකටත් චාලිව ඇල්ලුවා. ඇත්තටම මං දැකලා තියෙනවා චාලි අත දානවා. ඒත් අම්මගේ පූසත් ඒ වැඩ ඔක්කොම කළා .ඒ පුසගේ නම රෝසි හරි මොකක්හරි විකාරයක් තිබ්බේ . ගෙදර මුලාදෑනියා වගේ හිටියේ. එයා සාලේ නම් චාලි එක පාරට මගේ කාමරෙන් එළියට එද්දී නැගිටලා මුණ දිහා ඔරෝලා ආයේ ඇහැක බලාගන්නවා. චාලි කලේ අයින් වෙලා පයින් යන්නම් කියලා ශේප් එකේ.


චාලි වලලපු තැන මං කජු පැලයක් හිටෙවුවා. ඒ කජු පලේ දැන් ගොඩක් ලොකුයි , වෙලට කිට්ටුව වත්ත පහළට එන්න. කොහොමහරි ඒ කජු ගහ ටික ටික ලොකුවෙද්දී පැත්තකට පෙරළුනා. ඒකෙ එක ලොකු අත්තක් පොලවට සමාන්තරව වැවෙන්න පටන් ගත්තා අනිත් කොටස් සාමන්‍ය ගස් වගේ වැවුණා. ඒ කලින් කියපු අත්ත උඩ නැගලා එහෙට මෙහෙට අවිදින්න පුළුවන්,, වෙල් යය අයිනේ නිසා ඒ අත්ත උඩ දිගාවෙලා නිදාගත්තම හරිම ශෝක්. හැන්දෑවට හරි ලස්සනයි එතන. අදටත් ගෙදර අය ඒ ගහට කියන්නේ චාලි ගේ කජු ගහ කියලා. ඔය කජු ගහේ ගිය ෆැෂන් වලේ කථාවකුත් තියෙනවා ,,හි හි හි හි පඳුරු තැලුවා ඇති.

Sunday, July 15, 2018

සංස්කෘතියේ සාපේක්ෂතාවාදය..(12+)

Women of the IDF Israel in tel aviv beach


සිකුරාදා දවල්ට බීච් එකේ අනික් කවදාටත් වඩා සෙනඟ ඉන්නවා. මාත් මගේ මිතුරියත් ඒ වගේ එක සිකුරාදා දවසක බීච් එකේ අපිට තැනක් වෙන් කරගත්තා. හෙවනක් තියෙන තැනක. අති බහුතරය වූ සුදු ජාතිකයින් නම් අවුව තැපීම වෙනුවෙන්ම ඇවිත් හිටපු නිසා ඇඟවල් වල. සුදුසු ඔයිල් වර්ග සහ අහිතකර කිරන වලින් ආරක්ෂා වෙන්න තවත් ක්‍රීම් ජාතිත් අතුල්ල අතුල්ල හිටියා. පිරිමින් සියලු දෙනාම උඩුකය නිරුවත්ව සුදුසු කොට කලිසම් වලුනුත් ගැහැනුන් සියල්ලන්ම විවිධ වර්ණ වලින් විවිධ මෝස්තර වලින් නාන්න ඉතාම සුදුසු බිකිනි ඇඳගෙන හිටියා. 

හැමදාමත් වගේ සන්ග්ලාස් දෙකයි ලොකු හවායි කැප් එකයි දාගෙන පලවෙනි විනාඩි කීපය බීච් එකේ හිටපු ගැහැනුන්ගේ බිකිනි වල නිමාවන් ඔවුන්ට නොදැනෙන්න බලමින් මට ගැලපෙන්නේ කොයි වගේ එකක්ද සහ සමහර ලේටස් ඩිසයින් වල ඒවා මගේ ශරීරය හා ගැලපෙනවද යන්න හිතෙන් ෆිටොන් කරකර බලන්න පටන් ගත්තා. 
ගොඩක් ගෑණු ළමයි ඇවිත් තිබ්බේ යාලුවෝ එක්ක ...ගෑණු පිරිමි යාලුවෝ එකට. පුන්චි කාලේ අපි මිදුලේ කෝම්පිට්ටු හදනවා වගේ උන් ටික වැලි එක්ක සෙල්ලම් කර කර දැගලුවේ. 
අපි හැමෝම චූටී කාලේ උඩට ඇඳුමක් නැතුව චූටී කලිසම් ඇඳන් ගෑනු පිරිමි බේදයක් නැතුව කෝම්පිට්ටු ගැන අවදානෙන් හිටියා වගේ ඒ ළමයිනුත්. 

ඒ සිද්දිය මං මගේ යාලුවට පෙන්නලා ඇහුවා "අක්කේ අර බලන්න අර ළමයි අවුරුදු 18 -20 උනත් ගෑණූ ළමයි පිරිමි ළමයි පොඩිඋන් වගේ දගලන හැටි.ශෝක් නේද " කියලා. 

"ඊයා උන්ට ලැජ්ජාවක් නෑ. හෙළුවෙන් නටන හැටි. කොල්ලො ඉස්සරහ ..ජංගි කොට ඇඳගෙන මුළු ඇඟම එළියේ. "
ඒකේ වරද මොකක්ද අක්කේ ? ඔය හැමෝම ඇඳගෙන ඉන්නේ. ඒ පිරිමි ළමයි කෙල්ලන්ගේ ඇඳුම දිහා බලන්නැතුව සෙල්ලම් කරන හැටි බලන්නකො.. අර තව ඉන්නේ අම්මා, තාත්තා ලමයි ඔක්කොම එකට ...

හරි අක්කේ ඔය කතාව ඇති අපිත් නාමුකෝ. 

හා යන් කියලා නැගිටපි ඩෙනිම් ශෝටක් ඇඳන් මුහුදෙ නාන්න .

" ඔය මොකක්ද අනේ"
"අනේ මේ අපි ගමේ දියරෙද්ද ඇඳන් නෑවේ , මේ රටේ ගෑනු වගේ අපිට හෙලුවෙන් නාන්න පුලුවන් ද බිකිනි ඇඳන්" 

අහා සංස්කෘතිය මෙවුවා එක රකින්න එපැයි නේද? 
මං එහෙම කිවුවම අක්කා කියපි "අපි බුද්දාගම් කාරයෝ නංගි මුන් වගේ හැසිරෙන්න අපිට බෑ" 

එහෙනම් උඹ වොඩ්කා බොන්නේ අමුවට ලංකාවෙදිත් එහෙමද ?? 

"අක්කේ මුහුදට යන්න බැයි නම් මෙන්න මෙහෙ ඉඳගන්නවා . තව ටිකකින් යන්. 
අලපෙති බැදලා, චිකන් වලින් මොනවද මන්දා කරලා අක්කා ගෙනාපු බයිට් ටික මාර රහයි. මොනවා නැතත් ඇයගේ කෑම නම් මට දිව්‍යලෝක රස්‍යි. එයා හිත හොඳ අහිංසක අක්කා කෙනෙක්.. ... බිකිනි නොඅඳින ඇයගේ සභ්‍යත්වයේ කතාව තව තව අවුස්සා ගැනීමේ කූට අදහසින් ඇයගේ අඩුම කුඩුම බෑගයෙන් බියර් කෑන් දෙකක් අරන් කඩලා ලස්සනට චිප්ස් , අර චිකන් ඒවායි මේවයි දාලා ලස්සන මේසයක් ඇරේන්ජ් කරලා ආයෙම එක එක දේවල් ගැන කතා කරන ගමන්.
" අක්කේ අර බිකිනි ය මාර ලස්සනයි නේද "
 කෝ මොන මොන එකද ? අහ්හ් අපෝ කෝ පටිත් නෑ .. බඩ ඔක්කොම එලියෙනේ... " 

පෝ අක්කේ බොනවකෝ ඕක කියමින් බියර් කෑන් දෙක තුනක් ඉවර කරමින් ඉන්න අතර.... ..
මේ දැන් එනවා ටිකක් නාමූ ..
කියමින් මා ඇයට පෙරත්ත කරමින් මුහුදටම ඇදගෙන ගියා. 
ලංකාවේ අපේ මුහුදෙ වගේ රැලි නැති මද්‍යදරණී මුහුදේ නෑම ගං වතුර කාලෙට අපේ වත්ත පහල වෙලේ නානවා වගේය.

අක්කේ බලනවා ඔය කලිසම බාංචුවක් වගේ බර තෙමුනම. 

"මේ ගොඩට යන් ටිකක්.. අර අඩුම කුඩුම මල්ල ඇතුලේ මෙන්න වතුර බෝතලයක්.. පියන අරිද්දිම වතුර නෙමේ කියලා තේරුන නිසා මොකුත් නොකිය. අක්කේ ආ මේකෙන් දාගන්නවා කියලා බෝතලේ දික් කලා විතරයි ....තව මොන මොනවද දාලා කොක්ටේල් එකක් හැදුවා මාර ලස්සනට. 
මට නම් එපා අක්කේ මග දිගටම පොලීසියෙන් .අහුවුනොත් ලයිසන් එක ගනී. 
"චියර්ස්""
"මේ ගෙදරට කෝල් කලාද කට්ටිය හොඳින් නේද ? මේසේ මා ඇයගේ නිවසේ තොරතුරු ඇසීම තුළ වූ අදහස නම් ඇයට බොහෝ කිට්ටු බව පෙන්වීම විය යුතුය.... 
ඔව් නංගි තෑන්ක්ස් . 

අක්කේ මං තවුසෙට බඩ්ඩක් කියන්නම් ..මං බිකිනි අඳින්නේ නැත්තේ තාම මගේ ඇඟ ශේප් නැති හින්ද හලෝ.ඊලග සමර් එක වෙද්දිවත් එක්සයිස් කරලා ...ඩයට් කරල ඇඟ හදාගන්න ඕනේ. 

" නංගි උඹට හින්දා කියන්නේ ෆිට් එකට මටත් ඕකමයි. 
"එහෙම දේකුත් නෑ අක්කේ ඔය ඉන්නේ අපිට වඩා පත සයිස් ගෑනු කවුරුත් ඕවා බලන් නෑ. 

බලනවා මගෙ කකුල් කෝටු වගේ ඒ හින්දා මටනම් කවදාවත් අඳින්න බැරි වෙයි නංගි. 

"ඔහොම හිටාන් ටිකක්... දැන් අර දියරෙද්ද ඇඳන් නානවයි කියපු සංස්කෘතිය ආරක්ෂා කරන්න ඕනේ කියලා.. අර පාඩුවේ සෙල්ලම් කරපු කෙල්ලන්ට හෙලුවෙන් නටනවා කිවුවේ ජෙලස් එකට නේද." 

සංස්කෘතිය කියන වචනේ දාලා උඹේ ඉරිසියාව, දුර්වල කම, කුහක කම වැහුවා නේද අක්කේ... කියල ඇයට නෑසෙන්න මටම මුමුණා ...

"හිස්කල බියර් ටින්  බෑග් එකටම ඔබා ඇයවත් අතින් ඇඳන් ඉර ගිනිබත් වෙච්ච ක්ෂිතිජය පැත්තට දිවුවේ තව ගොරක,විනාකිරිත් තිබ්බනම්. මේකිගේ මොලේ ‍මධ්‍යධරණී මුහුදේ ඔබා හොඳ සුද්දයක් දාන්න තිබ්බා කිය සිතමින්මයි.


Wednesday, June 27, 2018

පෝදා මතක with අම්මා

පෝය දවසට පහුවදාට ඉස්සර අපි අම්මගෙන් ගුටිකන බැනුම් අහන දවසක් වෙලා තිබ්බා. ඒ අම්මා එයාගේ යාලුවෝ කීප දෙනෙක් එක්ක පෝයට සිල් ගන්න හුරුවුණාට පස්සේ.
එයා සිල් ගන්න යනව නම් අපිට උයලා යන්න ඕනේ කියලා අපි නීතියක් දාලා තිබ්බා. අම්මා අපි පව් හින්දා උයල යන්න ඇති අපි ලොක්කො වගේ නීතී දැම්මා කියලා හිතුවට. සමහර දවස් වලට එයාල උයලා යන්න ඇහැරෙන්නේ නැහැ. එහෙම දවසට අපිට උදේ කෑමටයි දවල්ටයි දෙකටම සල්ලි හම්බෙනවා. අපි දෙන්නා කරන්නේ උදේට ආච්චි අම්මලගේ දිහා ගිහින් මොනා හරි කාලා ටිකක් එහෙට මෙහෙට කැරකිලා ආයේ ගෙදර ඇවිත් ටීවී බලන එක. ඒකාලේ ගෙදර ලෑන්ඩ් ෆෝන් එකයි අම්මා පන්සල් අරන් ගිය ෆෝන් එකයි විතරයි තිබ්බේ. අපි දෙන්නට ෆෝන් තිබ්බේ නෑ. ටීවී එකයි ඩෙක් පීස් දාගෙන රෙස්ලින් ,හින්දි චිත්‍රපටි බලන එකයි තමයි වැඩේ. ඉරිදට සෙනසුරාදට අම්මා දවල් වෙද්දී කෑ ගහනවා
"දැන් මදැයි ඕක බැලුවා"
"අනේ අම්මේ තව ටිකයි"
"හරි ඕක බලලා කඩේට ගිහින් එන්න".
ඊට පස්සේ හැම විනාඩි පහකටම සැරයක් කනක් ඇහිලා ඉන්න නෑ.කෝ තාම ගියේ නැද්ද ? "අනේ දෙයියනේ මෙහෙමත් ළමයි.....තව කියෝනවා අපි දෙන්නා ඇහුනේ නෑ වගේ ඉන්න බැරිම තැන කවුරුහරි කඩේට ගිහින් එනවා.
ඔය විදියට දවල්ටත් ආච්චි අම්මා අපිට කන්න දෙනවා. අම්මා දීපු සල්ලි තියාගන්නවා මොනාහරි කඩචෝරු කන්න. මල්ලි මට වඩා ගොඩක් බාල නිසා මං නිතර උත්සහ කරේ වැඩි පංගුව මං ගන්න. ඒත් සමානව නොදුන්නොත් අම්මට කියනවා කියලා තර්ජනේ කරලා මල්ලි මගෙන් හරියටම බාගයක් ගන්නවා.

ඊට පස්සේ අම්මා උදේ 11 ට විතර කෝල් කරලා අහනවා
"නැගිට්ටද " ඊට පස්සේ තව පැය කාලකින් විතර ආයේ අරන් අහනවා
"කෝ හරක් බැන්ඳද ? .. පව් ගස් වල උන් වේලෙනවා ඇති....අද පෝය දවසෙවත් එහෙමවත් දෙයක් කරන්ඩලකෝ"....
සිල් අරන් නිසා ටිකක් සද්දෙ අඩුවෙන් කියන්නේ. අපි ගොඩක් වෙලාවට කරේ කොස් ගහෙන් අතු දෙක තුනක් ඇදලා හරක්ට දීලා වතුර බාල්දි දෙක තුනක් දීලා උන්ව ඉන්න තැන් වලම ඉන්න අරින එක. ගහෙන් ලෙහුවොත් එහෙ මෙහෙ දුවනවා අපිට කන්ට්‍රෝල් කරගන්න බැහැ. එපා වෙනවා අතපය සූරගන්න වෙනවා. කොස්කොළ උන් කාගෙන කාගෙන ගියේ නැහැ ,හිමින් හිමින් කෑවේ. සමහර දාට අපි එහා පැත්තේ අන්නාසි කොටුවට පැනලා කෙහෙල් ගහකින් අතු කපන් ඇවිල්ලා හරක්ට දුන්නා. හරක්ටත් මාසෙකට දවසක් පෝයට ගස් වලම ඉන්න සිද්දවුණා.
පෝයට ටීවී එකේ චිත්‍රපටි නැති නිසා ඩෙක් පීස් බැලුවේ වැඩිපුර.

අම්මා සිල් ගන්න ගියාම හවස පහමාර හය පහුවෙලා තමයි ගෙදර එන්නේ. ඒ එන වෙලාවට කලින් කෝල් කරලා කියනවා හවස් වෙන්න කලින් හරක් ටික බැඳලා හිටපු තැන් වලින් ලෙහාගෙන එන්න කියලා. අපි අර කොස් අතු කෑලි කෙහෙල් පිති එහෙම විසි කරලා ආයෙම හරක්ට බොන්න වතුර දීලා නවතින්නේ නැහැ. ගේ ඉස්සරහා මිදුලේ තේක්ක ගහෙන් වැටිලා තියෙන කොළ අතින් ටක් ටක් ගාලා එකතු කරලා කුණු ගොඩට විසි කරලා ඉදලෙන් එහෙට මෙහෙට ඉරි ටිකක් ඇඳගෙන යනවා මිදුල එහෙම අතුගාපු බව පේන්න.
පෝය දවස නිසා අම්මා කෑ නොගහා හිටියත් පහුවදාට එයා පටන් ගන්නවා අපි දෙන්නට හැම දේටම කෑ ගහන්න. සිල් ගන්න ගියාම එයාට හම්බෙන උපාසකම්මලා එයාගේ ඔළුව වෙනස් කරලා එවනවා කියලා හිතලා අපි හිත හදාගත්තා.

සමහර දවස් වලට අම්මා අපිට හේතුවක් නැතුව බයින්න පටන් ගන්නවා අහල පහළ ගෙවල් වල ඉන්න ළමයි දෙමවුපියන්ට කරන උදව් ,හැමදාම ඉස්කෝලේ යන්න කලින් ගෙදර කරලා යන වැඩ ගැන කිය කියා. ඔයාලටත් ඒ වගේ අම්මලා බැනලා ඇති. අපි නිතරම අම්මා එක්ක එකට එක කිවුවා රණ්ඩු කරා. අම්මා පේර කෝට්ටක් කඩාගෙන ගහන්න එලවනවා ඒ වගේ එයාගේ කේන්තිය වැඩි වුණාම. අපි බයට දුවනවා ගුටි කන්න බැරි නිසා. ඒත් අම්මට අපි පස්සේ දුවලා මහන්සි වෙද්දී එයා නැවතිලා කියනවා "දුවන්න එපා ගහන්නේ නෑ ,හැබැයි මාව මහන්සි කරන්න එපා "කියලා.
"ඉතින් දිවුවේ නැත්තන් ඔයා ගහනවනේ "කියලා අපි අපිටම කියාගන්නවා. කොහොමහරි ටිකක් පන්නලා අම්මා කෝට්ට විසි කරලා ගෙදර යනවා අපි ඉතින් හිමීට පූසෝ වගේ දුරින් ඉන්නවා හොරගල් අහුල අහුල ගේ ඇතුලට එන්නේ නැතුව. පස්සේ දවල් වෙලා අම්මා උයලා ඉවරවෙලා "හා ඇති දැන් ඇවිත් කන්න ,හැබැයි ආයේ මං කියන්නේ නෑ." අපි මුල් දවස් වල අම්මගේ ඒ වචන වලට රැවටිලා ගේ ඇතුලට යනවා .ඊට පස්සේ අම්මා දොර මුල්ලේ ඉඳලා අල්ලගන්නවා. මුලින් ගෙට ගිය කෙනා අම්මට අහුවෙනවා. "අම්මටත් ටිකක් හිනා අපිට බයට හිනා යනවා.

කෙසේ හෝ ඒ කාලේ නොතේරුණාට ,තේරුම් ගන්න බැරිවුණාට කාළය ගතවෙලා වයසින් මුහුකුරා යද්දී ,අම්මගෙන් ඈත් වෙලා ඉන්න පටන් ගත්තම තමයි තේරුණේ තාත්තා ගෙදර නැතුව අපි දෙන්නවත් බලාගෙන ,ආච්චි අම්මගෙන් ,එයාගෙම සහෝදරයන්ගෙන් වෙච්ච හිත් රිදීම් ඉවසගෙන එයා ගත කරපු ඒ ජීවිතේ කොච්චර කටුකද කියලා.
ගෙදර කිසිම වැඩකට අපි අම්මට උදව් කරේ නෑ හරියට ,ඒ කාලේ එයාව අපිට පෙනුණේ අපේ නිදහසට බාද කරන ,අපිව මට්ටු කරන්න ආපු කෙනෙක් වගේ.හැබැයි මං දැන් නම් අම්මගේ හිත පොඩ්ඩක්වත් රිද්දනේ නැහැ. එයා මට කෝල් කරන හැම වතාවකම ගොඩක් සතුටින් තමයි ගෙදර දොරේ ,ගමේ ගොඩේ ඔක්කොම විස්තර මට කියන්නේ. ඒ වගේ කථා කරන සමහර වෙලාවල පරණ සිද්දි මතක් කරලා අපි හිනාවෙද්දි මගෙන් අම්මට වෙච්ච වැරදි ගැන මං පසුතැවෙන බවත් ,ඒ කාලේ මං කොච්චර මෝඩ විදියටද හැසිරුණේ කියන එකත් එයාට ආයෙම මතක් කරනවා.
අතීතයේ නරක මතක කටුගාලා දාන්න වර්තමනයේ ඉඩ ලැබෙනවා. ඒක මහ පුදුම සතුටක්. අපේ අම්මා දැන් ඉන්නේ සම්පුර්ණ සතුටෙන්ද කියලා මං හරියටම දන්නේ නැහැ. ඒත් එයාව දැක්කම කථා කරද්දී තේරෙනවා එයා දුක් වෙන්නේ නැහැ කියලා.

(අපි දෙන්නා වගේ වල්ඌරු පැටව් දෙන්නෙක් හදපු එක ගැන.)

,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...