Tuesday, May 16, 2017

සැන්ද්‍රා මොන්ටා සහ මොණරු

මොණරා අද  තනියම නෙමේ තව මොණර පැටව් දෙන්නෙකුත් එක්ක ඇවිත්. කොච්චර ලස්සන සතෙක් වුණත් කෑගහන සද්දෙනම් අහන් ඉන්න බෑ අප්‍රසන්නයි. කෝපි එක බීලා සයිකලේ ගත්තේ වටපිටාව ටිකක් බලන් එන්නයි ව්‍යයාමෙටයි දෙකටම; මිනිස්සුන්ට වැඩිය කිට්ටුවෙන්නේ නෑ හායි ,කොහොමද ,ගිහින් එන්නම් කියන වචන ටිකට විතරක් සීමාවෙන්න ඕනේ කියලා හිතන් අලුත් ගෙදර පදිංචියට ආවට මොකද දවස් දෙකක් යද්දී අපූරු  යෙහෙළියක් ආයෙම මුණ ගැහුණා. කාලයක් පදින්නේ නැතුව අයින් කරලා තිබ්බ නිසා බයිසිකලේ  බ්‍රේක්  අල්ලද්දී මොණරගේ සද්දෙට හපන් විදියට කෑගැහුවේ. ගෙදර ගිහින් එළවලු තෙල් ටිකක්වත් දාන්න ඕනේ කියල හිතන් බ්‍රේක් අල්ලන්නේ නැතුව හිමීටම පැදගෙන රවුම ගියා..

මේ ගමේ ගොඩක් පරණ ගෙවල් තියෙනවා ,ඒ හැම ගෙයක් පවුලක් වටාම කථාවක් තියෙනවා .ඒ කතා වලින් කීපයක් මගේ යෙහෙළිය මේ වෙද්දී මගේ කනේ තියලා ඉවරයි. අර මොණරයි පැටවුනුයි ගැන ඇයගෙන් අහන්න හිතේ තියාගෙන  හිටියත් ආයෙම අහම්බෙන් මොණරු පිරිච්ච ගරාවැටිච්ච ගේ දකිනකල් ඒක අමතක වෙලා තිබ්බේ. ගෙයි වහලේ පුරාමත් ඒ වත්තේ අවටත්  මොණරු තිහක් හතළිහක් වගේ හිටියා. (බොරු අනේ විස්සක් විතර හිටියේ) ඇත්තටම මේ වගේ පුංචි ගමකට මේ මොණරු කොහෙන්ද කාගේද කියන ප්‍රශ්න ටික මගේ අලුත් යාළුවගෙන් අහගන්න පුළුවන් වෙයි කියලා හිතලා පස්සේ දවසක හවස් වරුවේ එයා හම්බෙන්න ගියා ඔන්න. එයාගේ නම රකෙල් (රේචල්)  පහළින් අප්ලෝඩ් කරලා තියෙන පුංචි වීඩියෝ දෙක බැලුවම ඔයාට භාෂාව නොතේරුණත් මං ලියන්න යන මොණරගේ කථාව ගැන අදහසක් එයි.






අපි දෙන්නා සතියට සැරයක් වගේ ඔය විදියට ඇවිදින්න යනවා. 

මොණරු ඉන්න ගෙදර කථාව අහලා ගෙදර ආවට පස්සේ ඒ කථාව ලියන්නම ඕනේ කියලා හිතුණා.

සැන්ඩ්‍ර මොන්ටා තමයි කථා නායිකාව, 1902 ලැටිවියාවේදී ඉපදුණු සැන්ඩ්‍ර මොන්ටා දරුවන් අට දෙනෙක්ගෙන් පිරිච්ච යුදෙව් පවුලක අන්තිම ගෑණු දරුවා ඇගේ උපතින් පසු මවගේ මරණය සිද්ද වෙලා. (ලැටිවියාව පිහිටලා තියෙන්නේ ඇසිටෝනියාවට පහළිනුත් වම් පැත්තෙන් රුසියාව හා ,බෙලරුසියාවටත් පහළින් ලිතුවේනියාවටත් මායිම් වෙලා. දකුණු පැත්තෙන් බෝල්ටික් මුහුද ) කාළයත් එක්ක උස්මහත් වෙච්ච සන්ද්‍රා පලවෙනි ලෝක යුධ සමයේදි(1914-1918) ඇයගේ පෙම්වතා සමඟ රුසියාවට යනවා. බොහෝ යුදෙව්වන් රුසියාවට ඒ විදියට පලාගිහින් ජිවත් වෙලා තියෙනවා. කෙසේ හෝ පසුව රුසියාව හා ලැටිවියාව ඇතිකරගත් සාම ගිවිසුමත් සමඟ අර යුදෙවුවන් ආයෙම මව් බිමට හැරී ඇවිත් තියෙනවා, (1920) අපේ සන්ද්‍රා ආපහු එන්නේ තනියම, හිසේ ඇතිවූ යම් රෝගතත්වයක් නිසා ඇගේ පෙම්වතා රුසියාවෙදී මරණයට පත්වෙලා. සහෝදරයෝ කිසිම කෙනෙක් ගැන කිසිම හෝඩුවාවක් නොලැබූ ඇය පියා සොයා විත් ඔහු සමග ජීවත්වෙන අතර තමන්ගේ දරුවා බිහි කරනවා. අපි ඔහුව ඩේවිඩ් ලෙස හඳුන්වමු මට නම හරියට මතක නෑ.


නැවත වසර පහළවකට පස්සේ දෙවන ලෝක යුදසමයේදී සැන්ඩ්‍ර මොන්ටා, ඩේවිඩ් සහ ඇගේ පියාත් මරණයෙන් බේරී පලායාමට දකුණු අප්‍රිකාව තෝරගන්නවා මොකද යුරෝපයේ යුදෙවුවන්ට නිදහසේ හිසගසන්න තැනක් නොවුණු නිසාත් 1885 වසරේ දකුණු අප්‍රිකාවට පිටත්වූ සැන්ඩ්‍ර මොන්ටාගේ පියාගේ සහෝදරයා ඇතුළු ව්‍යාපාරිකයන් පිරිසක් එහි ජීවත්වෙන නිසාත්. කුඩා අත්කරත්තයකට බඩු අහුරාගත් සන්ද්‍රාගේ පවුල තමන්ගේ ගමන පටන්ගන්නවා. හිමෙන් වැහුණු අඳුරු මාවත් දිගේ එහෙ මෙහේ දුවන පිරිස් අතර ඔවුනුත් එක්තරා පවුලක් විතරයි ...දවස් කීපයක කටුක ගමනින් වෙහෙසට පත්ව මියගිය  සැන්ඩ්‍ර මොන්ටා ගේ පියාගේ දේහය ඇය හිම පහුරුගා මිහිදන් කර ආයෙම ගමන පටන් ගන්නවා.... බෝල්ටික් සාගරය හරහා මගිප්‍රවාහන නෞවකාවක දකුණු අප්‍රිකාවේ තමන්ගේ නෑදෑයන් කරා ගිය සැන්ඩ්‍ර මොන්ටා සියළු අතීතය අමතක කරලා ජිවිතේ ආයෙම පටන් ගන්නවා ( දකුණු අප්‍රිකාවේ ගොඩක් යුදෙවුවන් ජීවත්වෙනවා යුරෝපයේ රටවල් වලින් පැනල ගියපු. සමහරුන් පළමු ලෝක යුදසමයෙදිත් තවත් සමහරුන් දෙවනි ලෝක යුදසමයේදී සහ ඊට පෙර) 
දරුවා සමග තනිව ජීවත්වෙන අපේ කථා නායිකාවට ස්වි වයිස්මාන්  මුණ ගැහීමත් සමඟම  ජිවිතේ අලුත් පිටුවක් පෙරළෙනවා , මේ ස්වි වයිස්මාන් තමයි මට මේ දිග කේලම කියපු  රඛෙල් ගේ  මාමා.  ජර්මනියේ  ද්රෙස්ද්න් වල ඉපදුණු ස්වි දෙවනි ලෝක යුද්ධයට කළින් හිතුමනාපෙට  නැවක නැගලා ඇවිත් සෙල්ලක්කාර ජිවිතයක් ගෙවපු තරුණයෙක්. (මගේ යාලුවා රඛෙල් 1938 ජර්මනියෙන් ඊශ්‍රායලයට පිටත් කරපු වයස අවුරුදු 15-17 අතර පසුවුණු  1500 ක් වූ ළමයින් පිරිසෙන් එක්කෙනෙක්. )  ස්වි සහ සන්ද්‍රා මොන්ටා  විවාහයෙන් වසර කීපයක පසුව   තමන්ගේ  දරුවත් සමග ඊශ්‍රායලයේ පදිංච්යට  එනවා.  ඒ වෙද්දී ඇයට වයස අවුරුදු  පනහක් විතර ... ඒ කියන්නේ 1952 වගේ ... අතේ මුදල් යහමින් තිබූ නිසා රඛෙල් ජීවත්වෙන ගමට නෑවිත් ජෙරුසලමේ පදිංචි වෙන  මේ පවුල ඊශ්‍රායිල් ජිවිතයට හුරුවෙන අතර ... සන්ද්‍රා ගේ පුතා දකුණු  අප්‍රිකාවේදී දැන හඳුනාගත්  ජෝජියානු තරුණියක හා විවාහ වී නැවත දකුණු අප්‍රිකාවේ පදිචියට පිටත් වෙනවා , එහිදී පළමු .දරුවා  බිහිකිරීමෙන් පසු ඇතිවුණු මානසික ව්‍යාකුලතාවකින් පසුව ඇය සියදිවි හානිකරගන්නවා.. දරුවාගේ අයිතිය තරුණියගේ දෙමව්පියන්ට හිමිවීමෙන් අනතුරුව ඩේවිඩ් නැවත  ජෙරුසලමට හැරී එනවා . මේ අතර අක්මා රෝගයකින් පෙළුණු ස්වී වයිස්මාන් (රඛෙල් ගේ මාමා ,  සන්ද්‍රා ගේ හස්බන්ඩ් ) ජීවිතෙන් සමුගන්නවා..තමන්ගේ පුතා සමග තනිවූ සන්ද්‍ර ජෙරුසලමේ නිවස විකුණා දමා රඛෙල් ජීවත්වෙන ගමට පදිංචියට එන්නේ ඊට පස්සේ.  

නැවත විවාහයක් සිදු කරගන්න ඩේවිඩ්  බිරිඳත් සමග මවගේ නිවසට යාබදව නව නිවසක පදිංචියට යනවා. මේ අතරදී ඔවුන්ගේ  පළමු විවාහ සංවත්සරයට පෙර දා සර්පයෙක් දෂ්ට කිරීමක් නිසා ඩේවිඩ් දැඩිව රෝගාතුර වී මිය යනවා.  මේ විදියට සන්ද්‍රා මොන්ටාගේ ජිවිතයට සම්බන්ද වෙලා හිටපු හැම කෙනෙක්ම මිය ගිහින් තියෙනවා අකාලයේම.. දකුණු අප්‍රිකාවේ ජීවත්වුණු මුණුපුරා පවා හදිසි අනතුරකින් වයස අවුරුදු දහය දොළහ අතරදී මියගිහින් තියෙනවා.. ඩේවිඩ් ගේ  මරණයෙන් පසුව 2001 වසර දක්වා  ඇය තනිව ජීවත්වී වයස අනූ අටේදී  තමන්ගේ ලේ නෑයන් සමග සමාදානයේ සැතපුනාළු.  ඩේවිඩ් ගේ බිරිඳ නැවත විවාහයක් සිදුකරගත්තද සන්ද්‍ර මොන්ටාට යාබදව නිවසේ අදටත් පදිංචි වෙලා ඉන්නවා ..වනජීවී අංශයට සම්බන්ධ රැකියාවක් කරන සන්ද්‍ර මොන්ටාගේ ලේලියගේ නව ස්වාමිපුරුෂයා තමයි  2005 අවුරුද්දේ මේ ගමට මොණර ජෝඩුවක්  ගෙනත් තියෙන්නේ අර උඩ වීඩියෝ එකේ තියෙන ගරා වැටුණු සන්ද්‍ර මොන්ටගේ ගෙදර අවට ගුල් හාර හාර පැටව් දාපු මොණරු දැන් මුළු ගමේම පැතිරිලා....අන්න ඒ මොණරෙක් තමයි අපේ මිදුලට ආවේ.. 

ප/ලි

කාළයක් ජංගම දුරකථනයට හුරුවෙලා සිංහල අකුරු ටයිප් කරපු නිසා කම්පියුටර් එකෙන් හරියටම නිවැරදි අකුරු ගහන විදිය මතක නෑ. SANDRA MONTA නම ටයිප් කරගන්න මට බැරිවුණා, ඒ වගේම තව ගොඩක් අඩුපාඩු ඇති , යථාතත්වයට එන්න ටිකක් කල් යයි 

අපි නොහිතන විදියේ නොදන්න ප්‍රසිද්ද නැති ජීවිත කථා මේ පොළව උඩ ඇතිවෙලා නැතිවෙලා යන්න ඇද්ද. ඉතිහාස වාර්ථා අතර නොලියවෙච්ච අපූරු චරිත මේ ලෝකේ තිබිලා තියෙනවා,  පාන්දර 2.30 යි නිදිමතයි . 



Tuesday, May 9, 2017

ON OFF බ්ලොග්කරණය

මල් වල පෙති දිහා ,උස ගස් දිහා , ඒවා හුළගට එක එක සද්ද වලින් එහෙට මෙහෙට වැනෙන දිහා ඔහේ බලන් ඉන්න, පෙනුනේ නැතත් කුරුල්ලන්ගෙන් ඇහෙන සද්ද එන පැත්ත හොය හොයා විපරම් කරන්න මං හරිම ආසයි. කාලෙකින් නොලිවුව නිසා තේරුමක් නෑවගේ ...ඉතින් කෝපි එකකුත් හදන් ඇවිත් තමයි ලියන්න පටන් ගත්තේ; ඔන්න ඉතින් කෝපි එක බොන්න පෑනෙන් අත අහකට ගද්දි ඇස් දෙකත් කොලෙන් අහකට යනවා ..අහකට කිවුවේ උඩට ,දැන් හවස හයට විතර ඇති රශ්නේ කාලේ නිසා ඉර බහිද්දී අට විතර වෙනවා ,ඉතින් මේ වෙලාවට මද ඉර එළියයි සද්දෙට එන හුළඟයි එක්ක වටේම තියෙන ගස් එක එක සද්ද වලට වැනෙනවා,ඈතින් තියෙන කන්ද පහළ මිටියාවතේ තිරිඟු යායවල් ඔක්කොම අස්වැන්න කපලා ඉවරයි ඒ මිටි තාම ගෙනියලත් නෑ ,,කන්දේ ඉඳලා මිටියාවත හරහා එන සුළඟ සැරයි ,සුවඳයි. දොඩම්, නාරං වගේ ගස් වල මල් වලින් එන  අවුවට රත්වෙච්ච සුවඳත් සැරින් සැරේ අර හුළඟ එක්කම එල්ලිලා එනවා. 

දැන් ගත්තේ 

ඒ මිටියාවත ශිත කාලේදී 

මං නිකමට ගත්ත ෆොටෝ එකක් 


ගෙදර පිටිපස්සේ දොර මෙතන ඉඳ ගෙන තමයි මනෝ ලෝකේ කරක්ගහන්නේ.
 සමහර විට මෙය කියවීම යම් ආකාරයක විකාරයක් වගේ දැනෙන්නත් පුළුවන්.ඒත් ගණන් ගන්න එපා කියවන්න ඔන්නොහෙ . ඒක නෙමේ ඔයා හිතනවා ඇති නේද මෙයා පෑනෙන් කොලේක ලියලද ආයේ මේ ටයිප් කරන්නේ කියලා.ඇත්තටම කවදාවත් කරලා නැති වැඩක් ,ඒත් අද හිතුණා.. අත රිදෙනවා හොඳටම මේ ටික ලියලත් කාලෙකින්නේ පෑනක් ඇල්ලුවේ, අපේ විචාරක මාමත් කොලේක ලියලා ආයෙම ලියනවා කියලා බ්ලොග් එකේ කියලා තිබ්බා. එතුමාගේ මරණය අපි හැමෝටම දුකක් එතුමාගේ මරණයෙන් පසුව අපේ බ්ලොග් වල තිබුණු ලිපි කියවීමෙන් ඇත්තටම සියුම් ලැජ්ජාවකුත් ආවා එතුමා දවසෙන් පැය 18ක් බ්ලොග් වෙනුවෙන් වැය කලාලු මටත් ඒකෙන් බිඳක් හෝ කරන්න පුළුවන් නම් . 
ජෝර්ජ් ගේ මරණය වෙලා මේ මාසෙට අවුරුද්දකුත් වෙනවා. ජෝර්ජ් ගෙන් පස්සේ මගේ ජීවිතේට ආපු මාව දාලා ගිය තවත් චරිතයක් ගැන ලියන්න බොහෝදේ තියෙනවා. මගේ හිතත් එක්ක ,ගහකොළ ,හුළඟ එක්ක ලං වෙලා ගෙවන මේ කාලෙට මං ගොඩක් ආසයි පහුගිය කාලේ පුරා ගොඩ ගැහුණු අත්දැකීම් එකින් එක සතියකට වරක් හෝ ලියා තබන්න විචාරක තුමාගේ ආශිර්වාදයත් මට ලැබේවි .

,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...