Monday, September 7, 2015

Why don't my children ever call me !!


ෆෝන් එකක්  කැඩුණම හදනා කෙනෙකුන්  සොයමින් එක මහළු පියෙක්  පාරට බැස්සා...

මගතොට  හමුවුණු  අයගේ උදව් ඇතුව...
අවසානේ එහෙම තැනක් වෙත ඔහු ඇදුනා......

පුතේ මේක කැඩිලා වගේ හෝදිසි කර ලෙඩේ බලා ගන්නට ඕනේ....

ඉටි බෑගය සහ එවැනිම තවත් බෑග දෙකක් ඇතුළේ ලේන්සුවකිනුත්  සුරැකුණු  පුංචි පහේ දුරකථනය එළියට අවා ...


මුවරැඳි  සිනහව යටකොට දුරකථනය දෑතින් ගත් තරුණයා එය  හොඳ හැටියට පිරික්සාලා  නැවත පැමිණුනා..

මේකේ කිසිම ලෙඩක් නෑනේ හැමදෙයක්ම හරියට වැඩ 
සීයට තියෙනා ගැටළුව කියමු බලන්න....

නෑ නෑ නෑ වෙන්නට බෑ  එහෙනම් ඇයි  මගේ දරුවන් කවදාවත් මට මේකට  කෝල් නොගන්නේ.. 

ප/ලි

පෝස්ට් එකක් ලියන්න  ඕනේ හෙට අනිද්දට  :(
මධු ගේ  පෝස්ට් ස්ටයිල්  එකට  කියෝගන්න 

Sunday, August 9, 2015

පූසොත් එක්ක බෑ




 මේ ඉන්නේ  මං ගොඩක් ආදරේ කරපු ජින්ජි. මේ සෙල්ෆිය  ගත්තෙත් එයාම තමයි.  පූසන් සහ මා අතර තියෙන මමවත් නොදන්න බැඳීමක් ගැන ලියන්න හිතුණා අද  ශෙඵාකිගේ පුසියෙක්  ගැන ලියලා තිබ්බ පුංචි පෝස්ට් එකක් දැකලා. මීට අවුරුද්දකට විතර කලින් ලියන්න පටන් අරන් අතරමග නවත්තපු පෝස්ට් එකක් ඒක.

මට මතක හැම කාලෙකම වගේ අපේ ගෙදර පුසෙක් හිටියා.ඒත් අපේ අම්මා ආස බල්ලන්ට පූසන්ට එයා කැමති නෑ. කුස්සියේ  මොනාහරි පෙරළුනොත්,,උඹලකඩ ,කරවල වගේ ජාති නැති වුණොත් පූසා තමයි වැරදි කාරයා,එයාගේ  බල්ලා කරෝල කෑල්ල කටේ තිබ්බත්  කන්න කිවුවේ නැත්තනම් කන්නේ නැති අහිංසක වැදගත් සතා.. අම්මා ගැන ලියන්න ගියොත් පෝස්ට් එක ලියන්න වෙන්නේ නෑ. ඒ හින්දා පූසෝ ගැන ලියන්න ආපු එක ලියලා ඉන්නම්. 

මුලින්ම මගේම කියලා පූසෙක් හැදුවේ  මට  අවුරුදු  15ක්  වගේ කාලේ. එයාගේ නම "චාලි" ඒ කාලේ ආසාවෙන් බලපු ටීවී සීරිස් එකක කොල්ලගේ  නම. (එයාට අවුරුදු 40ක්  වගේ පෙනුම ඒත් මාර හැන්ඩ්සම් ) චාලි ගොඩක් වෙනස් පූසෙක්. මං ඉස්කෝලේ ඇරිලා එන වෙලාව එනකල් වැට අයිනට වෙලා ඉන්නවා. ඔයාලා හිතයි බොරු කියලා ඒත් ඒක ඇත්ත. අම්මා කියනවා පුසත් මං වගේම මහ කම්මැලියි  මං ඉස්කෝලේ ගියවෙලේ ඉඳන් මු නිදි කියලා. එයාට ඉතින් නිදියන පූසෙක් වත් පේන්න බෑනේ..පූසෝ ඉස්කෝලේ යන්නෙත් නෑ විභාග ලියන්නෙත් නෑ ,,අඩුගානේ පූසන්ට බෑ අම්මට බෝංචි ටිකක්  කඩලා දෙන්න. උයන ගමන් හොද්දට දාන්න කුමාරිපුන්චිලගේ දිහයින් ගම්මිරිස්  ඇට දෙක තුනක් ඉල්ලන් එන්න.. ඒත් එයා පුසටත් කෑගහලා බයිනවා.. සමහර වෙලාවට මං දකිනවා අම්මගේ කටහඩ ඇහෙද්දී පුසගේ කන් දෙක ගැස්සෙනවා ටග් ගාලා හැංගෙනවා. හි හි  

චාලි රෑට නිදාගන්නේ මගේ ඇඳේ. රෑට මං ලයිට් දාන් පාඩම් කරනකල්  ( පාඩම් කරනවා වගේ දොරට පිටුපාලා තියෙන පුටුවේ ඉඳන් මනෝ ලෝකේ වෝක් කරද්දී)  චාලි නියම දඩයක්කාරයෙක් වගේ ඇස් ලොකු කරගෙන බිත්තිවල ඉන්න හුනන්ට මාන බලන හැටි මට කවදාවත් අමතකවෙන්නේ නෑ. අම්මගේ අඩිසද්දේ මුලින්ම අදුරගන්න චාලි ඇඳ යටට රිංගලා හැඟෙන්නේ පුසන්ට බයේ දුවලා අර ගැහි ගැහි ඉන්න කාටුන් වල මීයෝ වගේ. ඒ  අවෑමෙන් මාත් ඔළුව කෙළින් කරලා අතට අහුවෙන පොතක් දිහා ඇස් චුටි කරන් ගොඩක් වුවමනාවෙන් කියවන්න පටන් ගන්නවා. අඩුගානේ සද්දේ දාගෙන එන අම්ම ආපු බව ඇහෙන්නෙත් " දැන් ඔය ඇති පාඩම් කළා නිදාගන්න " කියලා අම්මා කියද්දී. චාලි මං ලඟින් නිදාගද්දී එයාගේ ඇඟ ඇතුලේ මැෂින් එකක් වැඩ කරනවා වගේ අමුතු සද්දයක් එනවා ඇහෙනවා....

චාලි දැනගෙන හිටියා ගෙදර එයාට ආදරේ කට්ටියයි එයාට අනතුරුදායක කට්ටියවයි. ලේන්නු , වල් හා පැටව් ,හුනෝ කන්න තමයි එයා ගොඩක් කැමති වුණේ. සාලේ සැටිය යට මගේ ඇඳ යට තිබිලා නිතරම ලෙන්න්නුන්ගේ නැටි හම්බෙද්දී අම්මා කෑගැහුවා ඔය පුසා ගෙදර තියාගන්න හොඳ එකෙක් නෙමේ  කියලා.. "මීයෝ මෙච්චර ඉන්නවා,, මීයෙක් මේකගෙ ඇඟ උඩින් ගියත් ගාණක් නෑ අර අහිංසක  හා පැටව් ලේන්නු කනවා.. ..බුදු බනෙත් තියෙනවනේ  සත්තු උන්ගේ අයිතිකාරයෝ වගේ හැදෙනවා කියලා "  (බුදුබනෙත් කියන කොටස එයා නිතරම අතින් දානවා, බුදුබණ ඔක්කොම හැමෝම දන්නේ නෑ කියලා එයා තදින්ම විස්වාස කරන හින්දා වෙන්න ඇති.) චාලි අවුරුදු  8ක් ජිවත්වෙලා මැරුණා.

 චාලිට පස්සේ පූසෙක් කිසිම පුසෙක්ට ගොඩක් ආදරේ හිතුණේ නෑ. ඒත් පූසෝ මගේ පස්සේ එන්න පටන් ගත්තා හැමදාමත්. ඒකට හේතුවක් මං දන්නේ නෑ. පූසෙක් බලාපොරොත්තු වෙන්න බැරි තැන් වලදී මට පූසෝ හම්බෙලා තියෙනවා. මේ පහුගිය අවුරුදු  දෙකට මේ රටේදී මට හම්බෙච්ච පූසෝ ගාන දෙසීයකට වඩා වැඩි ඇති.  සමහර වෙලාවට බස් හෝල්ට් එකකට ගිහින් විනාඩි දෙක තුනක් යද්දී  කකුල් වල මොකෙක්ද පැටලෙනවා බලද්දී පූසෙක්.. මං විතරක් නෙමේ තව පස් හය දෙනෙක් ඒ වෙද්දීත් ඉන්නවා ඒත් පුසෙක් කොහෙන් හරි ඇවිත් මගේ මුණ දිහා බලන්න හදනවා කකුල් වලට නැගලා උඩට එන්න හදනවා,, මුල් කාලේ මං එච්චර ගණන් ගත්තේ නැති වුණත් පස්සේ එහෙම දකින පුසන්ව ෆොටෝ ගන්න පටන් ගත්තා. ඒ ව්දියට ගත්ත එක එක විදියේ ,එක එක වර්ගයේ , පුසන්ගේ ෆොටෝ ගොඩක් මං ළඟ තියෙනවා. සමහර පූසෝ පාට ලස්සනයි ඒත් මුණ කැතයි.,, මුණ කැත සමහර පූසෝ හරි හුරතල් ඒත් උන්ගේ  පාටත් කැත නිසා මං ආස නෑ. ආඩම්බර ,අහිංසක ,නැහැදිච්ච ඔය විවිධාකාර පූසෝ පූස් සමාජේ ඉන්නවා.

මීට අවුරුද්දකට  වගේ කළින් බලාගත්ත ආච්චිගේ දුව කිවුවා  එයාලගේ ගේ හදලා අවුරුදු 55 ක්  ඒත් කවදාවත් ඒ ගෙදරට පුසෙක් ඇවිත් නෑ කියලා.. ඒත් මං ගිහින් දවස් දෙක තුනක් යද්දී  කඩේට යද්දී එහෙන් මෙහෙන් කකුලේ දැවටිච්ච කළුපාට පුසෙක් ටික ටික පස්සෙන් ඇවිත් ගෙදර පදිංචිම උණා. ඊට පස්සේ  කොහෙන්දෝ ආපු තව පුසෙක්.. අන්තිමට මාස 5ක් වෙද්දී පූසෝ හයක් ගෙදර. මුලින් මුලින් මරාගත්ත පූසෝ අන්තිමට හොඳින් ඉන්න පටන් ගත්තා. ඔය උඩම පොටෝ එකේ ඉන්න ජින්ජි තමයි ගොඩක්ම හුරතල්.. මං එයාට ආදරේ බව දැනගත්තට පස්සේ ජින්ජි අනිත් පූසෝ ඉස්සරහා හරි ආඩම්බරකමින් හැසිරුණේ... වචනයක් වත් කතාකරන්නේ නැති ආච්චි කෙනෙක් එක්ක තනියම ඉන්න මට පූසෝ නිසා දවස ගෙවෙනවා දැනුණේ නෑ. ඔය අතර මං නිමාඩු යද්දී දකිනවා පූසෝ මං දිහා බලන් ඉන්නවා.





මෙයා ඔල්සි 

ජින්ජි  තමයි ඔය මුදුනා වෙලා ඉන්නේ 

ඒ ජොබ් එකෙන් අයින්වෙලා පූසෝ ටික දාලා යද්දී ගොඩක් දුක හිතුණත් ඉක්මනට මට ඒ අයව අමතක වුණා. ජින්ජි කියලා ගෑණු නමක් දාගෙන පුසියෙක් කියලා හිතං හිටියට මෙයා පුසෙක් කියලා දැනගත්තේ හුඟ කාලෙකට පස්සේ. ඉතින් ඔන්න  ඊට පස්සේ  ජොබ් එකේදී අපේ ගේ තිබුණේ දෙවනි තට්ටුවේ මගදී පූසෝ හම්බුණාට එයාලට මාව හොයන් ගෙදරට එන්න බෑනේ... අපේ ගේ තියෙන්නේ පඩිපෙළ නැගලා ගියාමනේ කියලා හිතං හිටියට සතියක් යද්දී හවසක



මෙන්න මෙහෙම එල්ලීගෙන පොඩි පූස් පැටියෙක් කෑගහනවා. වැස්සේ තෙමිලා පූස් පැටියෙක් උනාට වවුල් පැටියෙක් වගේ වෙලා. ගෙට අරන් පිහදාලා මගේ කාමරෙන් තියාගත්තා උදේට යවනවා කියලා හිතං.. රෑ මෙයා නිදාගන්නෙම නෑ මොනාකරත් . ගෙදර තිබ්බ සෙල්ලම් බඩු ,ටිපිටිප් ,කිරි මොනාදුන්නත් කෑවෙත් නෑ කෑගහනවා.. ආච්චිට කන් ඇහෙන්නේ නැති හින්දා ගාණක් වුණේ නෑ.  මට පූසා ලගට වෙලා ඉන්නත් බෑ ආච්චි බලන්න යන්නත් ඕනේ.. පූස් පැටියා කෑගහනවා ඉවරෙකුත් නෑ... ඊට පස්සේ යු ටුබ් එකේ නිකමට චෙක් කරලා බැලුවා පූස් පැටව් නලවන සංගීතයක් මොකක්හරි..


ඒකත් හම්බුණා.. දගලා දගල හිටපු පූස් පැටියා මෙන්න හිමීට නිදාගත්තා....





ගූගල් දෙවියන්ටත් යූටුබ්ටත් පිං සිද්දවෙන්න පූස් පැටියා පැය තුන හතරක් හොඳට නිදාගත්තා.. නිදියලා නැගිටලා කිරිත් බිවුවා. ආයේ කෑගන්න හදද්දී පැය ගාණක් දිග පූස් රිලැක්සීන් මියුසික් ප්ලේ කරලා ලයිට් නිමුවා (ආච්චිට කන් ඇහෙන්නේ නෑ ඒ හින්දා එයා මේ මොකුත් දන්නේ නෑ)

 උදේ හය වෙද්දී ආයේ මෙන්න සද්දේ.. පුස් පැටියා අරන් උදේ ටිකක් එළියට යද්දී මෙන්න පූස් පැටියා වගේම ලොකු එකෙක්. මං ඉතින් පැටියව අම්මට බාර දීලා ආසාවෙන් ගෙදර ඇවිත් ආච්චි එක්ක දවස පටන් ගත්තා.. දහයට විතර දොර ඇරලා බලද්දී අම්මයි පුතයි දෙන්නම දොරේ එල්ලීගෙන. ලොකු පූසා අයිතිකාරයෙක් නැතුව හැදිච්ච කෙනෙක් ඒ නිසා කිසිම තේරුම නෑ කෑගහනවා කන්න ඉල්ලනවා දවස් තුන හතරක් යද්දී මට කරගන්න දෙයක් නෑ පූසෝ දෙන්නා මදිවට තව අලුත් පූසෙක්...පොඩි පූසා හදාගන්න කොච්චර ආසාව තිබ්බත් එයාගේ අම්මා නිසා ඒකත් කරන්න බෑ. පස්සේ දවසක පොඩි පිරිමිලමයි දෙන්නෙක් ඇවිත් පොඩි පුසව මගෙන් ඉල්ලුවා... දුකෙන් උණත් පූස් පැටියව ඒ ළමයින්ට දීලා හිත හදාගත්තා. එයාලා එක්ක ෆොටෝ කීපයක් ගත්තා ළමයින්ව මතක තියාගන්නත් එක්ක.


මෙයාට  මං නම දැම්මේ "ඉලානා " කියලා.

පැටියව  දීලා දවස් දෙක තුනකින් අම්මත් ගෙදරින් ගියා. එයින්  පස්සේ කොච්චර පූසෝ මගතොටදී දැක්කත් ගෙදර ගිහින් හදාගන්න හිතුණේ නෑ කිසිම පුසෙක්ව. 

මීට මාස දෙකකට කලින් මේ ජොබ් එකට ආවම මං මටම කියාගත්තා පූස් කරදරේ ඉවරයි කියලා. ඒ මොකද අපේ ගේ තියෙන්නේ  6 වෙනි තට්ටුවේ ,ඇලවේටර් එකයි ,ආරක්ෂක දොරයි එක්ක පුසෙක්ට ආයේ මාව හොයන් ගෙදරට එන්න වෙන්නේ  නෑ කියලා තේරුණ නිසා ඒත් ගිය සිකුරාදා චුටි පූස් පැටියෙක් ගේ දොර අරිද්දි.. කාගෙහරි  අපේ ෆ්ලො එකේම කෙනෙක්ගේ වෙන්න ඇති කියලා ඇරියට වඩා වේගෙන් දොර වහලා දැම්මා. 


ප/ලි

Monday, July 27, 2015

The Earth is Art, The Photographer is only a Witness part 2.

පුදුම කම්මැලි කමක් දැනෙන්නේ  බ්ලොග් කියෙවුවට පෝස්ට් එකක් ලියන්න හිතෙන්නෙම නෑ. ලියන්න දේවල් කොච්චර තිබ්බත් ලියන්න ඉඳගත්තම දැනෙන්නේ  ජිවිතේ පළවෙනි පාරට මොනාහරි ලියන්න යනවා වගේ. ඉතින් තේ එකක් හදන් එනවා  ..තේ නිකන් බොන්නයෑ මොනාහරි  කනවා  ඊට පස්සේ  ටිකක් ඇඳට ගිහින් ඇලවෙලා ඉන්න හිතෙනවා.. නින්ද යනවා. ඕක තමයි සාමාන්‍යයෙන් හැමදාම වෙන්නේ...

හීන ගැන මොනා ලියන්නද කියලා හිතුණත් කෙළවරක් නැතුව ලියන්න පුළුවන් තරම් දේවල් හීනත් එක්ක මගේ ජීවිතේ දිනපතා සිද්දවෙනවා. ජෝර්ජ් හම්බෙන්න කළින් ඉස්සරම ඉස්සර කාළෙක ..."අර ඔයාලට මතක ඇති මං මළ මුහුදේ ...බෙත්ලෙහෙමේ ගිය පෝස්ට් වල ෆොටෝ ගත්තේ  ෆෝන් එකේ කැමරාවෙන්  මට කැමරාවක් නෑ... ඒත් ගන්න ඕනේ" කියලා කමෙන්ට් එහෙම දැම්මේ.. ඔය අවුරුදු එක හමාර දෙක කාළය අතරතුර එක එක විදියේ ඩිජිටල් කැමරා ගැන යාළුවො කිවුවා මේක නියමයි ගන්න  ඩොලර් පනහයි.. හැටයි... ඒත් ඒවා චුටි චුටි  කැමරා ඒවා අල්ලලා ෆොටෝ එකක් ගන්න තරම් වත් මගේ හිතේ ආශාවක් තිබ්බේ නෑ.. මගේ හිත හීන මැවුවේ නයිකොන්  (Nikon)හරි  කැනන් (cannon)  වර්ගයේ හොඳ DSLR කැමරාවක් ගන්න අර මාරු කරන එහෙට මෙහෙට කරකෝන ලොකු සීන් තියෙන ලෙන්ස් කිට් විතරක් නෙමේ අර Tripod අනම් මනම් ඔක්කොම එක්ක.  ඒත් ඒවල ගණන් බලද්දී අම්මා මතක් වෙනවා. මං ආස වුණාට එයාට  ඕක නිකරුණේ සල්ලි නාස්ති කිරිල්ලක් විතරක් නිසා.... 

දැන් තමයි කතාවේ මං ආසාවෙන්ම ලියන කොටස හරිද....... ජෝර්ජ් එක්ක ඉන්න ගමන් එයාට මං ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ පෙන්නුවා... හරි ගැම්මෙන් ඉතින් විස්තර කලේ ෆොටෝ ගැන.. ඊට පස්සේ දවසට ගන්න සීයක් විතර ෆොටෝ වලින් හොඳ එවුවා  ජෝර්ජ් ට පෙන්නන එක පුරුද්දක් වුණා. ඊට පස්සේ මං ගත්ත ෆොටෝ කීපයක් එයාගේ  බෑනා කෙනෙක් බලලා  ලොකුවට අගේ කරලා තිබ්බා.. ඊට පස්සේ ජෝර්ජ් ට ඕනේ වුණේ කැමරාවක් ගන්න අදහසක් නැද්ද කියලා මගෙන් අහන්න.... 

යු ටුබ් එකෙන් කැමරා ගැන ,ෆොටෝග්‍රැෆි ගැන වීඩියෝ බලලා මට ඊමේල් එවලා  පහුවදා  යෝජනා වුණා  "මායා කැමරාවක් ගන්න ඕනෙමයි "කියලා. එයා කියයි මමනේ ඉතින් ගන්න ඕනේ ඒ හින්දා හිනා වෙලා නිකන් හිටියා....... (දැන් තමයි හොඳම හරිය)... පහුවදා උදේ නැගිටලා ජෝර්ජ් බලන්න යද්දී  මගේ නම ලියපු චෙක් එකක්. ගාන ලියලා නෑ.... ඊට පස්සේ ජාලේ පීරලා පීරලා සීයට ලොකු බරක් නොදැනෙන මගේ හීනෙටත් සෙට් වෙන නයිකොන් කැමරා එකක් සිලෙක්ට් කර ගත්තා.... හුරේ......එදාම ඕඩර් කළා... දැන් අපි බලන් ඉන්නේ  කැමරාව හම්බෙනකල්....( සීයට ඕනේ එයා මැරෙන්න කළින් මං ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැපර් කෙනෙක් වෙනවා බලන්න. හි හි ඒත් අපේ අම්මගේ හීනේ වෙන එකක් )

නිකමට අම්මට කිවුවා  අම්මා කියපි " අනේ මෙහෙමත් මෝඩියෙක් අපරාදේ සල්ලි කැමරා මොනාකරන්නද? අපරාදේ සල්ලි !!! "  අම්මා ගැන අලුත් කථාවකුත් තියෙනවා කියන්න. ඊලග ලිපියේ ලියන්නම්  එයා ගිහින් "කනප්පු කරකෝලා  හොරු අල්ලන මොකක්ද එකක් බලන්න.. කනප්පුව ඉස්සුනාලු කතා ගොඩයි.. ඒ සේරම ඊලග කොටසට...  අදට මගේ  ගැලැක්සි s 3   ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ කීපයක්....


මේක ගත්තේ ඉරමුදුන් වෙලාවේ ගලීල මුහුද අයිනේ..ගොඩක් දුර මේ බෝයි හිටියේ ඒත් එයා හිටපු ඉරියවුව මාව පෙළඹුවා ෆොටෝ එකක් ගන්න.

ලෙබනනයට කිට්ටු  උතුරේ කන්දක් කපලා මොනාද හදන තැනක්.. හයි වේ එකේ 120 ට වඩා වේගෙන් යන වාහනේක ඉඳන් මේක ගත්තේ.

ගිය මාසේ  හයිෆා  වෙරළේ සයිප්‍රසය පැත්තේ ඉඳන් එන ප්ලේන් බල බලා ගත්තේ 

අහසෙයි ,වලාකුළු වලයි  ෆොටෝ ගන්න මං ගොඩක් ආසයි..මේ වරාය පේන පැත්ත 

මේ තාත්තයි පුතයි දැක්කම මට අපේ තාත්තා මතක් වුණා. ළමයගේ අම්මා පොඩි අලිපැටියෙක් වගේ  ඔහේ  ෆෝන් එකක් ඔබ ඔබ හිටියා ..මේ දෙන්නා ගොඩක් වෙලා සෙල්ලම් කළා,

ජෝර්දාන් ගඟ ලඟදි ගත්තේ. මේ මනුස්සයා ෆොටෝ එකට එයාව ගන්න එපා කිවුව හින්ඳම ගත්තා.

අළුතපොල පන්සලේදි ගත්තේ මේක. සත්තුන්ගේ පාට දැක්කම ගන්න හිතුණේ.ඒත් එච්චර  සාර්ථක පින්තූරයක් නෙමේ. 



නම දන්නේ නැති මලක්



-----------------------------------------------------------

ප/ලි

දහස් ගාණක් එක එක විදියේ ෆොටෝ වලින් ලැප් එකේ තිබ්බ ඒවා කීපයක් පෝස්ට් එකට එකතු කරේ ෆොටෝ දාපුවම පෝස්ට් එකේ බර වැඩි වෙනවයි කියන නිසා.

 හොඳ ෆොටෝ එකක් ගන්න කැමරාව සහ ඒකෙ මෙගාපික්සෙල් ගාන වැදගත් නෑ හොඳ ඇහැකුයි තියෙන්න ඕනේ කියලා කතාවට කිවුවට. මගේ ෆෝන් එකෙන් සමහර මං දකින කෝණ වලින් ෆොටෝ එකක් හරියට ගහ ගන්න බරිවෙද්දී  හොඳ කැමරාවක අගේ හොඳින්ම දැනෙනවා.... සීයා සල්ලි නොදුන්නත් මං කැමරාවක් ගන්නයි හිටියේ... අපි ගොඩක් පැති ගැන හිතලා එක එක්කෙනාගේ අදහස් ගැන හිතලා අපි ආස කරන ගොඩක් දේවල් වලින් ඈත්වෙලා ජිවත් වෙනවා...ඒක හරි අපරාදයක් අප්පා.
ස්තුතියි.

Monday, July 6, 2015

new job with ice coffee junkie

හායි ගායිස්....
කාළෙකින් ආවම එක පාරට  ලියාගන්න බෑ..ලියන විදිය අමතකයි. පෝස්ට් ලියද්දි  ඉන්න ඉරියව් අමතකයි...,ඇත්තටම  ඒක මහා අමාරු වැඩක්. ඒත් කොහෙන් හරි පටන් ගන්න එපැයි. ඉස්සරම ලියද්දි වගේ බිම දිගාවෙලා ලියන එක හොඳයි වගේ. 

ජොබ් එක මාරු කළා ඇත්තටම කළින් ජොබ් එකට වඩා හොඳ තැනක් හම්බුණු නිසා. අතරමැද  විස්තර අනම්මනම්  ගොඩක් තියෙනවා ඒ හැම එකම අතෑරලා  ලියන්න හිතුවා  අවුරුදු හතර පහක් තිස්සේ සැබෑකරගන්න  උත්සහ කරපු සැබෑ කරගත්ත හීනයක් ගැන. 

මගේ පරණ ලිපි කියෝලා තියෙන ඔයාලා දන්නවා මං හීන දකින්නියක් (සැබෑ ලෝකේ ජීවත්වෙන) .. ඒ වගේම  ඒ හීන වලට සාත්තු කරන්නියක්.  
මේකයි කථාව 
-----මං ආස කළා
  • ඇමරිකන්  එම්ප්ලෝයර් කෙනෙක්  එක්ක වැඩ කරන්න. 
  • ඒ වගේම නිව්යෝර්ක් හෝ කැලිෆෝර්නියා වල ජිවත්වෙච්ච,
  • ලෝකේ වටේ බිස්නස් කරපු සහ සංචාරය කරපු, 
  • PHD එකක් තියෙන,
  • පොත් කියවන,
  • කවි ලියන්න පුළුවන්
  • තනියම ඇවිදින්න පුළුවන්,
  • මාත් එක්ක නිතරම ඉන්ග්ලිෂ් වලින් කතාකරන,
  • මං අහන හැම ප්‍රශ්නෙකටම උත්තර තියෙන,
  • අල්සයිමර් ,ඩිමෙන්සියා වගේ ලෙඩ නැති,
  • අධිරුධිර පීඩනය , දියවැඩියාව වගේ ලෙඩ නැති,
  • පුතාලා සහ මුණුබුරෝ නැති(දුවලා විතරක් ඉන්න), 
ෂෝයි සීයා කෙනෙක්...වෙන්නත් ඕනේ. 

..ඒක ඇත්තටම  මගේ හිතුවක්කාර කමට දැකපු හීනයක්.."ඕවා හැබෑවෙන්නේ  නෑ හලෝ කියලා සමහරු කියන්න පුළුවන් නිසා කාටවත් කීවේ නෑ".. ඒත් ගොඩක් ලඟින් ආශ්‍රය කරපු යාළුවෙක්ට ටිකක්  කෙටියෙන් කියලා තිබ්බා.  මීට මාස දෙකකට වගේ කලින්  මං අලුත් රැකියා හොය හොයා ඒවට කෝල් කර කරා  වෙබ් සයිට් පීරන අතරේ අපූරු දැන්වීමක් දැකලා කෝල් කරලා  අපොයිමන්ට් එකක් දාගෙන හදිසියෙම ජොබ් එක බලන්නත්  ගියා. අපොයිමන්ට් එක දාපු වෙලාවේ සීයමයි කතා කලේ කොහේ ඉඳලා හරි  ටැක්සියක එන්න කිවුවා ,ඒ වගේම එයා ටැක්සියට සල්ලිත් දෙනවා කිවුවා මං එක පයිම්ම ඉතින් හහ් කිවුවා.   

එක්කෝ  ඉන්ටවිව් එකේ විස්තර පස්සේ ලියන්නම් ඒක හරි ෂෝයි කථාවක්....... ලිවුවොත් පෝස්ට් එක දිග වැඩිවෙනවා ෂුවර්. ටැක්සියට සල්ලි දෙනවා කිවුවට ඇත්තවශයෙන්ම මං බස් එකේ ගියේ, බස් එකට  දහයයි ටැක්සියට  දෙසිය දහයයි කියලා ටිකක් අවංක වෙන්න හිතාගෙන නියම ගාණට වඩා දහයක් අඩුවෙන් කිවුවා හි හි.. ඉතින්  ආපු  හැටියෙම බොන්න වතුර දීලා ටැක්සියේ ගාන අහළා ඒක දීලා තමයි ඉන්ටවිව් එක පටන් ගත්තේ.. ආපහු යන්න  එක්ක තව දෙසිය විස්සක් දෙන්න හදද්දී  මං කිවුවා බස් එකක යන්න පුළුවන් සල්ලි එපා කියලා.. ඉන්ටවිව් එකට ලකුණක් එකතුකර ගැනීමේ යටිඅරමුණ ඇතුවයි සැහැල්ලු හිනාවක් එක්ක මුදල් ප්‍රතික්ෂේප කලේ අපහසුවෙන් වුණත්.. 

පැයක් විතර සීයා මගෙන් එක එක විදියේ ප්‍රශ්න ඇහුවා,අහන ඒවට මං දෙන උත්තර ලියාගත්තා.. සීයා හිබ්රු වචනයක් වත් දන්නේ නෑ.. ඉංග්ලීස් විතරයි කතා කලේ මට  එක පාරට මගේ "සිහින කුමාර සීයව මතක් වුණා" ඒක හරි පුදුමයි  මට අමුතු පණක් ආවා. සීයා ප්‍රශ්න අහන අතර මටත් ඉඩ දුන්නා එයාගෙන් ප්‍රශ්න අහන්න ඉබ්බා දියේ දැම්මා  වගේ සීන් එකක් මං ඇහුවා ඔයා ඇමරිකාවේ මොන ස්ටේට් එකෙන්ද කියලා  ඉපදිලා තියෙන්නේ නිව්යෝර්ක්.. කැලිෆෝර්නියා වලත් අවුරුදු  25 ක් වගේ ජිවත් වෙලා තියෙනවා..ඒ වගේම චිනේ, හොංකො වගේ රටවල එයාගේ කම්පැණි එකේ ඔෆිස්  තිබිලා තියෙනවා...හැම මාසෙකම වගේ ලෝකේ පුරා එක එක රටවල ඇවිදලා තියෙනවා...

ඉබේටම වගේ මගේ ලිස්ට් එකේ තිබ්බ ප්‍රශ්න එකින් එක අහන්න පුළුවන් වුණා.. ඔයාට කියන්න කොටින්ම  සීයට ඉන්නේ  දුවලා දෙන්නෙක් විතරයි  ඒ මදිවට දෙන්නටම ඉන්නේ දුවලා  තුන් දෙනා ගානේ.... ඒක කියද්දී මට බය හිතුණා..මං නිකමට හිතපු ඒවා ඒ විදියටම සෙට් වෙනවා..සීයා අහපු සමහර ප්‍රශ්න වලින් මං දැනගත්තා එයත් අපි වගේ  ටයිල් කැටයක් දිහා බලලා රූප මතුකරගන්න ,වලාකුළු දිහා බලන් චිත්‍රපටි හදන කෙනෙක් කියලා.   ඉන්ටවිව් එක ගැන තව ලියන්න ඕනේ. ඒත් දැන් නෙමේ  තව දවස්  දෙක තුනකින් වගේ  අදට මේ ඇති.. දැන් මං මාසයක් මේ කියන සීයත් එක්ක වැඩ කරනවා.. අපි දෙන්නා හැමදාම එළියේ ඇවිදින්න යනවා. ඒ යන්නේ අයිස්කෝපී බොන්නයි අයිස් කෝපී ගැන කවි ලියන්නයි.. 

සීය හදපු මෙම්බර්ෂිප් කාර්ඩ් එකක්.



හවසක අයිස්කොපි බොන ගමන් මේ ෆොටෝ එක අරන් මං සීයගේ වයිෆ්ට වට්ස්ඇප් එකෙන් යැවුවා. එයා රිප්ලයි  කරලා තිබ්බා "ice coffee junkie" කියලා.ඒකට කේන්ති ගිහින් තමයි ඔය එහා පැත්තේ තියෙන කවිය ලියලා මේ ෆොටෝ එක හදලා වයිෆ්ට  යැවුවේ.  සීයට 92 යි  හොඳේ වැඩි වයසක් නෑ. 


මං ගැන ලියපු එකක්. අයිස් කොෆිත් එක්ක 


Maya,maya where have you been?
We had no ice coffee today..
Everybody missed your sweet grain..
And there's nothing for us to say...

So come back maya
come home to stay
We'll drink ice coffee 
That s the way!!!

Ice coffee good till the last drop
So  cold with a straw on the top
Drink it up till is all gone
That means every Tom,Dick,John!
Ladies also enjoy its taste 
So let not a drop go to waste.

 මේක ලියලා තියෙන්නේ ගිය සෙනසුරාදා මං ගෙදර නැතිවෙලාවේ පාළුවට.. සීයා මට මායා කියන්නේ. 

මේ තව කවියක්.. එච්චර පැහැදිළි නැති නිසා ටයිප් කරන්න හිතුවා.

Maya and me take a stroll 
With a wheel chair instead of feet
Ice coffee is our goal
Drinking ice coffee is hard to beat

ඔය කවිය ලියපු දවසේ අපි දෙන්නා පැයක් විතර සිටි එක වටේම තියෙන අයිස් කොෆි ෂොප් වලට ගියා හැම තැනම ඉවරයි, ඒත් එයාට ඕනේ කොහෙන් හරි බොන්න. ගොඩක් රශ්නේ වෙලාවක් ඇවිදින එක ලේසිත් නැහැ. ඊට පස්සේ  එයා ටිකක් ඉන්න කියලා "waze" වල ගහලා කොෆි ෂොප් එකක් තියෙන තැනක් හොයාගත්තා.. මීටර් 800ක් දුරයි. මට හිනා, ඒ වගේම කේන්තියි.. පස්සේ ෆෝන් එක අරන් පාර බලද්දී  අපි ඉන්න තැන ඉදලා මීටර් 25ක් වගේ තැනක තියෙන්නේ පාර වන් වේ හින්දා waze වල අර විදියට පෙන්නන්නේ.. එදා  සතුටටයි මහන්සියටයි අයිස්කෝපී ලොකු කප් දෙකක් එයා බිවුවා. 

ඊට පස්සේ අපි තීරණය කළා සිටි එකේ තියෙන හැම කොෆි ෂොප් එකේම ෆෝන් නම්බර් ටික  ලිස්ට් එකකට ගන්න ඊට පස්සේ ගෙදරින් යන්න කලින් කෝල් කරන්න පටන් ගන්නවා ගෙදරට කිට්ටුම තැනින් ඊට පස්සේ  තමයි යන්නේ. ලෝකේ පළවෙනි වතාවට ශෙකෙල් දහයකට අයිස්කෝපී එකක් ගන්න කෝල් කරලා අහලා ගිය මිනිස්සු දෙන්නා අපි වෙන්න ඇති... ඒ ගැන අපි දෙන්නා අපිටම හිනාවුණා. හි හි ඒ වගේම සතුටට කවියකුත් ලිවුවා ටිෂූ එකක.

We are so happy today
Our ice coffee was ready on time
Now we have plentyof time to play
The ice coffee cost only a dime!

ඉතිරි කතා පසුවට... විවිධාකාර චරිත එක්ක ගැටෙමින් ගෙවන හැම දවසක්ම මට හරිම නැවුම්.  හීන දකින එක ඉතින් මං කොහොම නවත්තන්නද...

Monday, May 4, 2015

මතක දෙපළු කළ නිසල පුරහඳ



මතක පොත දිග හරී නිසල සඳ 
සිතක දුක මෝදු විය දුරක අද 
රැසක දිවියේ ගෙව්න සිහිල වැද 
මලක සැනසුම කොයි ගියෙදෝ ලද ..

එදා පසු පසින් ආ පුන් සඳ 
මෙදා සක්මනේ ළඟක නැති සද
බදා සිපගත් මතක අහෝ ! අද 
උදා කල දුකක් කළා මේ පද..

පැටියන් සමග කළ කූඩු එල්ලා අතු අග
සක්මන් සඳ පසුපසම අනේ අප ගිය යුග
ඉක්මන් ගමනින් කොහෙද හැරගියේ අප මග 
තබමින් උණු කඳුලක් සදා කල් දෙනෙත් අග ...

පළමු කවි දෙක මාත්‍රා 15 ,15  සහ දෙවැනි කවිය මාත්‍රා 20 .
ප/ලි

ඉස්සර  කූඩු හදපු හැටි මතක් වුණා ආච්චි එක්ක හවස ඇවිදින්න  ගියවෙලේ හඳ දැක්කම ලොකු  පාළුවක්  අමුතු තනියක් දැනුණා.. ඒක තාමත් අඩුවක්  නෑ ෆේස්බුක් එකේ කට්ටිය දන්සැල් කාපුවා දාද්දි කූඩු ,දකිද්දී තවත්  ඒ හැඟීම ඇවිස්සෙනවා... ඒ මතකය ගුලිකරලා  කවියක් ලියාගෙන ගියා..

ප/ලි /ලි 
බ්ලොග් එකේ ලින්ක් එක වෙනස් කරා සබ් ඩොමේන් එකක් ගත්තා. මගේ බ්ලොග් එක බ්ලොග් රෝල් වල දාන් ඉන්න අය නිමාඩු වෙලාවක අලුත් ලින්ක් එක රෝලට දාගන්න ස්තුතී.

Sunday, April 26, 2015

අම්මා part 3 | ට්‍රැෆික් පොලිස් සහ අපේ අම්මා

අම්මා ගැන  සංවේදී  කවි  කෙටි කතා වගේ දේවල්    සුලබව ලියවෙනවා.. අපේ අම්මා ගැනත් මං කවි ලියලා තියෙනවා... අපේ අම්මා ගැන  එක ලිපියක් ලියලා ඉවර කරන්න බැහැ  කියලා ගිය පාර බල්ලට නමක් දාපු  පෝස්ට් එකේදී කිවුවනේ. එදා කාට හෝ කමෙන්ට් එකක පොරොන්දු වුණා  අම්මා ලයිසන්  නැතුව  බයික්  පැදලා  පොලිසීයට  අහුවෙලා කීප සැරයක්ම  බේරිලා ආපු  කතා ටිකක් ලියන්න...


අපේ  ගෙවල් තියෙන්නේ ගම ඇතුලේ. ගම ඇතුලේ පාරෙන් ඇවිත්  ප්‍රධාන  පාරට වැටුනට පස්සේ  බස් හෝල්ට්  4ක් වගේ  තියෙන්නේ  ටවුන් එකට එන්න. ඔන්න දවසක්  අපේ අම්මා බයික් එකෙන්  ටවුන් එකේ  මිරිස්  මෝලට  ගිහින්.ඔය  මෝල තියෙන්නේ  ප්‍රධාන පාරේ  බස්  හෝල්ට් 3ක් විතර ගියාම. මෙයාට  තියෙන්නේ  ස්කුටීයක්. ( ඉස්සර මගේ  දැන් ඔක්කොම එයාගේ කරගෙන) කොහොමහරි  මිරිස් කොටාගෙන  ආපහු  ඇවිත්  මහපාරෙන් ගමේ පාරට හරවද්දී  පිටිපස්සෙන් ආපු  පොලිස්  කාරයෝ  ආම්මව නවත්තලා..
ඊට පස්සේ..
 "ලයිසන් ගන්න බලන්න "

"තාම ලයිසන් ගත්තේ නෑ" 
අම්මා කියලා. පොලිස් කාරයෝ දෙන්නා මුණට මුණ බලන් හිනාවෙලා. 
"ලයිසන් නැතුව බයික් පදින එක වරදක් කියලා දන්නවද?" 
 පොලිස් කාරයෝ අහලා 

"ඔව් සර්  දන්නවා"
"එහෙනම්  ඇයි ලයිසන් නැතුව පදින්නේ?"  

"පුරුදු වෙන්න එපැයි සර්  ලයිසන් ගන්න කලින්"

ආ එහෙමද? ඉතින් ගමේ  පාරේ පැදලා පුරුදු වෙන්න එපැයි"
"ගමේ පාරේ බස්  එහෙම යන්නේ නෑනේ" 
ඒකයි අද මේ  පුරුදු වෙන්නත් එක්ක  තනියම  ආවේ  පළවෙනි වතාව"

"තමුන්ටත්  මේ  ලැබෙන අන්තිම වතාව" 

තැන්ක්යූ  සර්  හෙට  තාත්තගේ  හත් දවසේ දානේ ...දානෙට උයන්න  මිරිස් කොටන්  එන්න ගියේ යන්නම්  සර් පරක්කු වෙනවා.. 

...............................................

තව දවසක්  ගම  ඇතුලේ  බයික් එකෙන්  යද්දී  වෙන වැඩකට  ආපු ජීප් එකක් අම්මව  නවත්තලා  අහලා  
"ලයිසන් තියෙනවද?"  

"නෑ  සර් තාම ගත්තේ  නෑ  පුරුදු වෙන්නේ  ගන්න  තමයි මේ පුරුදු වෙනවා" 

පොලිස්  කාරයෝ  මොනවා කියන්නද  අම්මා යන විදියට පේන්නෙත්  පුරුදුවෙන්න පදිනවා වගේ තමයි.
....................................................

එක පාරක්  අම්මා  හෙල්මටුත් නැතුව සයිඩ් කණ්නාඩිත් නැතුව  මිනුවන්ගොඩ ගිහින්..  (ඊට කලින් දවසක බයික් එක පෙරලිලා  එක සයිඩ් කණ්නාඩියක්  කැඩිලා අනික බුරුල් වෙලා තිබුණේ  මෙයා ඒකත් ගලෝලා තියලා  ගිහින්) මිනුවන්ගොඩ ඉදලා එද්දී  යටියන පන්සලට මෙහා හැමදාම පොලිසියෙන්  ඉන්න  නිසා  අම්මා අනිත්  පැත්තෙන්  ගිහින්.. කොළඹ  මිනුවන්ගොඩ  පාරෙන්  අතුරු පාරට හරවන තැනම පොලිසියෙන් ඉඳලා. පොලිස්  කාරයෝ දැකපු හැටියේ  මෙයාට  හිනාගිහින්  ඒ  මිනිස්සු  නවත්තන්න කියලත් නැතුව මෙයාම නවත්තලා අමතක වෙලා.. ඒක මරු වැඩේ,
ඊට පස්සේ පොලිස් කාරයෝ අහලා 
"හෙල්මට් නැහැ  සයිඩ් කණ්නාඩි  නෑ.".. 

"අනේ බලන්න සර්  බයික් එක ටවුන් එකේ  නවත්තලා මීගමු ගිහින් එන්න ගියා හදිසියට...ඇවිත් බලද්දී  හෙල්මට් එකත් නෑ සයිඩ් කණ්නාඩිත්  නෑ..කරන්න දෙයක්  නැති තැන  අර පැත්තේ  පොලීසියෙන් ඉන්න හින්දා මෙහෙන් ආවා.. මෙහෙන් එද්දී  සර්ලා..  "

ගෙදර ඇවිත්  කියද්දී මටයි මල්ලිටයි  හිනාවෙලා පණ නෑ..
--------------------------
ප/ලි 

ඊයේ මගේ උපන්දිනේ. පුංචිකාලේ  තාත්තා එක්ක කිරිබතුයි ලුණුමිරිසුයි  හායි හූයි කිය කියා කෑවට පස්සේ මතක ඇතිකාලෙක සතුටින් ගෙවුණු එකම උපන්දිනය වෙන්න ඕනේ  . වයස සහ අවුරුදු  ඉලක්කම් විතරයි..නමුත් සතුටුවෙන්න  හේතු හොයන මං වගේ කෙනෙක්ට ඒකත් හොඳ අවස්ථාවක්.. අම්මා  හවස  හයට විතර කෝල් කරලා අහනවා අද  ඔයාගේ උපන්දිනේ නේද ??  හි හි  ඊලග  පෝස්ට් එක ලියන්න ඕපාදුප ටිකකුත් අම්මා කියාගෙන ගියා...

Monday, April 20, 2015

සීයලා ආච්චිලාගේ අපූරු ලෝකය

 අහම්බෙන් වුණත් මං නතර වෙච්ච  ජොබ් එක නිසා මට වඩා තුන් ගුණයක් විතර ජිවිත අත්දැකීම් තියෙන අය එක්ක ගැටෙන්න ලැබෙනවා. ඒ වගේම  විශේෂම සහ එපාමකරපු දේ ගෙදරදී පොඩි කාලේ ඉඳන්ම රණ්ඩු වෙච්ච ආච්චි අම්මගේ කැරැක්ටර් එක තියෙන කෙනෙක් එක්ක පැය විසිහතරම එකට ජීවත්වෙන්න වෙන එක. කරවිල උයලා කන්න අකමැති නිසා බැදලා ළුණු ,දෙහි ඇඹුල් දාලා රසට හදාගෙන  තිත්ත නොදැනෙන්න කනවා වගේ රැකියාව තුළත් කරන්න වෙලා තියෙන්නේ  200 %ක් ඉවසීම  චාර්ජ් කරන් ඉන්න එක .  පැය විසිහතරම ළමයෙක් යටතේ ඒ ළමයා කියන දේවල් කරන්න කැමති කවුද අනේ.. මට වෙලා තියෙන්නේ ඒකතමයි කෙටියෙන් කීවොත්.



අද ලියන්න හිතුණේ තාක්ෂණය සහ ආච්චිලා සීයලා ගැන.

.

ඇපල් සමාගම ඔවුන්ගේ අලුත්ම (මැක්බුක් වෙන්න ඕනේ) ලැප් ටොප් පරිඝණකය හඳුන්වලා දුන්නා  පහුගිය දවස් වල ,ඊට ත් කලින් ඇපල් i ෆෝන් 6 ජංගම දුරකථනය හඳුන්වලා දුන්නා ..ඒ වගේම සැම්සුන්ග් සමාගමත් ගැලැක්සි s 6  වෙළඳ පොලට නිකුත් කරා...එක එක වැඩකෑලි  සෙට් එකකුයි කෙළවරවල් නමලා අනම් මනම් කරලයි...

  ටීවී  එකේ  හැමදාම රෑට  පැය භාගයක්  යන වැඩසටහනක් තියෙනවා ඒකෙ හැමදාකම පෙන්නනවා එදා දවසේ ලෝකෙට අලුතෙන් එකතු වෙච්ච තාක්ෂණික උපකරණ සහ මෘදුකාංග පිලිබඳව.  මේ වැඩසටහන බලන හැම දවසකම මගේ හිතට වද දෙන ප්‍රශ්නයක් වෙන්නේ  ඇයි  මේ හැමදේම වැඩි වශයෙන් තරුණ පරපුර ඉලක්ක කරගෙන විතරක් කරන්නේ.. ?? ඇයි  මේ නිර්මාණ කරන මිනිස්සුන්ට නොහිතෙන්නේ  වයසක අය වෙනුවෙන්  අලුත් අලුත් දේවල් නිර්මාණය කරන්න.මොකද  මේ නිර්මාණ කරන  සොෆ්ට්වෙයා ඉංජිනේරුවොත් කවදාහරි වයසට යනවනේ. අද  අතපය ශක්තිය තියෙන කමට අපි හැමෝම සට සට ගගා කම්පියුටර් එක්ක ඔට්ටු වුණාට , වාහන එක්ක හැල්මේ දිවුවට දවසක් එනවා මේ ඔක්කොම දේවල් අනිත් අය කරනවා බලන් ඉන්න වෙන.  අනිත් අය ලව්වා කරගන්න වෙන.

අපේ රටට වඩා වයස අය වෙනුවෙන්  පහසුකම් දියුණු රටවල තිබ්බත්  ඒ තියෙන ප්‍රමාණය  මගේ  අත්දැකීම අනුව නම් මදි.  වයසට ගිය අය වෙනුවෙන් ඉලක්කම් ලොකු ටෙලිෆෝන්, එලෙක්ට්‍රික්  කාර් වගේ දේවල් සුලබව තිබ්බත් තාක්ෂණයේ  භාවිතාව නම් එතරම් ඉහළ මට්ටමක නැහැ. 




ඇවිදන් යන්න අමාරු වෙද්දී  හොඳ  වටිනා වීල් චෙයා එකක් අරගන්න පුළුවන්, ඊටත් කලින්  ටිකක් ඇවිදගන්න සහ අතපය වාරු තියෙද්දී  එලෙක්ට්‍රික්  කාර් එකක්... 

අවසානයේ එළියේ  ඇවිදින්න යාම අපහසු වෙද්දී  වයසක අය  නිරන්තරයෙන් පෙළඹෙනවා ටීවී  බලන්න. ලෝකේ දකින්න එලියට යන්න බැරි අයට රුපවාහිනිය කියන්නේ  අපූරු මෙවළමක්. ඒත් කාළයත් එක්ක තව තවත් ඔවුන් දුර්වල වෙද්දී රුපවාහිනිය එපා වෙන්න පටන් ගන්නවා ඊට හේතුව නිවේදක නිවේදිකාවන්ගේ කථාබහ හරිහැටි නොතේරීම..  

"වයසක ආච්චිලා සීයලට  අපි කතා කරන්න ඕනේ ශබ්ධ නගා වගේම ඉතාම පැහැදිළිව වචන අතර පරතර තියමින්"
මේක  මං ඉගෙන ගත්තේ මගේ එලිශේවා ආච්චිගෙන්. අපි සාමාන්‍යයෙන් කතා කරන වේගෙන් කතා කලාම එයාලට අපි කියන දේවල් වලින් තේරෙන්නේ  50% හෝ ඒ ආසන්න ප්‍රමාණයක් විතරයි. නමුත් ජිවිතයේ ලබපු අත්දැකීම් මත එයාලා තේරුම් ගන්නවා කියපු දේ ඒත්... එහෙම වෙද්දී එයාලා මානසිකවත් වැටෙනවා. තමන් ගැන හිත ඇතුළෙන් දුක් වෙනවා..  ඒ වගේම  අපි අනවශ්‍ය විදියට  ලොකු අගෑලුම්කම් පෙන්වමින් ගොඩාක් හෙමින් කතා කරනවටත් එයාලා කැමති නැහැ. මොකද එතකොට එයාලට දැනෙනනවා  අසරණ ගතියක්.. වයසට යද්දී සීයලා ආච්චිලා දන්නවා 
"මේක  ජිවිතේ  හැටි  අපි වයසට යනවා ,අපිට තරුණ කාලේ කරපුවා දැන් කරන්න බැහැ කියලා " නමුත්  එයාලා දවස ගානේ උත්සහ කරනවා ජිවත් වෙන්න.. 

"මට කියන්න ඕනේ වුණේ රුපවාහිනී ආයතන සහ රේඩියෝ චැනල් සිය දහස් ගාණක් තියෙන රටේ  වැඩිහිටි අය වෙනුවෙන් රටේ එක නාළිකාවක් වෙන් කරන්න බැරිද?"
නාලිකාවක් ඕනේ නැහැ හවසට සහ උදේට ළමයින් වෙනුවෙන් පැය දෙක දෙක තියෙනවා වගේ වයසක අය වෙනුවෙන් යම් යම් වැඩසටහන් ? පැය කාලක් ප්‍රවුර්ති වැඩසටහනක්!!

ඔයාලා චුට්ටක් හිතලා බලන්න මං කිවුවේ මට දැනිච්ච දේ. වයසට ගියාම ආච්චිලා සීයලා ආසයි ප්‍රවුත්ති අහන්න ,බලන්න. ඒත් ඒ යන වේගෙට අපිටවත් හරියටම තේරුම් ගන්න අමාරුනේ. ඒ වගේම එයාලා වචන හසුරුවන ශබ්ද කරන විදිය වැඩිහිටියන්ට තේරුම් ගන්න බැරි තරම්.

තරුණ කාලේ අපේ අය නිතර කියන දෙයක්
 "මං නම් වයසට ගියාම කාටවත් බරක් වෙන්නේ නැහැ. "
"ළමයින්ට බරක් වෙන්නේ නෑ". 
"මට වැඩිය ජිවත් වෙන්න ඕනේ නෑ ලෙඩක් එහෙම හැදුනොත් නම් මං වද විඳ විඳ ජිවත් වෙන්නේ නෑ '

ඒත් මං අත්දැකීමෙන් දන්නවා වයසට ගියාම නිදාගන්නත්  බයයි එයාලා. සමහර ආච්චිලා නිදිපෙත්ත බොන්නේ  දහ දොළොස් වතාවක් වෙලාව අහලා. මං මීට කලින් එකක් බිවුවද ? එක එක විදියේ ප්‍රශ්න ගොඩක් අහලා. ඉස්සර බලාගත්ත සීයා හවස් වෙද්දී කියනවා "අද නම් රෑට නින්ද යන එකක් නෑ ඔන්නොහේ අද පෙති දෙකක්ම දෙන්න" කියලා. ඒත් බොන්න ගියාම එක බොන්නෙත් පරිස්සමෙන්. 

ආච්චිලා සීයලාගේ  සුන්දර ලෝකය ගැන ලියන්න තව දේවල් බෝමයි. සැරින් සැරේ ලියන්නම් හෙමින් හෙමින්,,

කොච්චර පෝසත් වුණත්  හරිම නිහතමානී හිනාවක්.
(මෙයත් ඕවා කරකර ඉඳලා වයසට ගියාම ,අතේ ඇඟිලි වාරු නැතුව ගියාම කොහොමද ස්ක්‍රින්ස් ටච් කරන්නේ ?  එයා වෙනුවෙන් නම් ඩොලර් මිලියන ගණන් හරි වියදම්  කරලා  එක එක  ඉතාම සංවේදී  කම්පියුටර් එකක් හදාගනී. ඇස් වල චලන වලට  වැඩ කරන හෝ ඊටත් එහා ගිය විදියේ.. ඒත්  වයසට යන්න කලින්  අනිත්  සාමන්‍ය  මිනිස්සු වෙනුවෙනුත්  මොනාහරි අලුත් දේවල් ටිකක් නිර්මාණය කරන්න  හිතුනොත් හොඳයි )

ප/ලි 
සමවයසේ අයත් එක්ක එකට ඔෆිස් එකක හෝ වෙන ආයතනයක  කරන රැකියාවක් කළානම් මට ජීවිතේට ගොඩක් වටින අත්දැකීම් ප්‍රමාණයක් අහිමිවෙන්න තිබ්බා. 

Saturday, April 18, 2015

වසන්තය පිටව යන්නත් ලඟයි මම තාමත් ශිශිරයේ | Spring arrived

බ්ලොග්  වසන්තය  කාලසීමාව තුළ මං වෙනදටත් වඩා කලේ ආච්චි එක්ක එළියේ ඇවිදින්න ගිය එක. ඒ නිසා කලින් නිදාගත්තා  පෝස්ට් එකක් වත් ලියාගන්න බැරි වුණා. ඇත්තටම හිතුවට පෝස්ට් ලියන්න බැරි අමුතු මෙවුවා එකක් තියෙනවා මගේ. 
අර දෙයියෝ වැහුනම විතරක් සාස්තර කියන සමහර ඩයල් ඉන්නේ  අන්න ඒ වගේ.

 ඔයාලට මතක ඇති සමර් එකේ අඩනිරුවත . ඒ ලිපිය ලියපු කාලේ මගේ වැඩේ පාර්ක් එකට වෙලා සීයත් එක්ක ඉඳගෙන ඉන්න ගමන්  ගස්කොළන් ,මල්  දිහා බලාගෙන හිටපු එක (සීයා කරේ ලඟින් යන ගැහැණු අය නොපෙනිලා යනකල් බලන් හිටපු එක. හි හි) පුංචි  කාලේ  ඉඳන් මං ගස්  ගල් දිගේ බඩගාපු ඕනෙවටත් වඩා ගහට කොළට ලං වෙච්ච කෙනෙක්. ඒ ආසාව කවදාවත්  ඉවරවෙන එකක් නෙමේ. මටත් නොදැන යාළුවො ආශ්‍රයෙන්  ඈත්වෙලා ඉන්න පුරුදු වෙලා. පාළුවක් තනිකමක් දැනෙන්නෙත්  නැහැ ඒ  හුරුවෙලා නිසා වෙන්න ඇති. 
මං විශ්වාස කරන විදියට ගහ කොළ ,මල් ,වැස්ස,ඝෘතු වෙනස් වීම්, සත්තු,හුළඟ දිහා බලලා අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්..ජිවිතේ සමහර කාරණා ගැන හිතට සතුට ගේන උත්තර අපිට පරිසරය දිහා බලලා ලබාගන්න  පුළුවන්. ජොබ් එකක් බලන්න යද්දී ඉන්ටර්නෙට් ස්පීඩ් එක වගේම වටපිටාවේ මං ආස කරන  ගස් වැල් නැත්නම් ඒ ජොබ් එක මං තෝරාගන්නේ  නැහැ.
ඊශ්‍රායලයේ  තරමක් උතුරට සහ ජෝර්දානට සමීපව පිහිටි අෆුලා නගරයේ මාස කීපයක් කළ රැකියාව තුළින් මා උපයාගත්ත මුදලට වඩා වැඩියි සොබාදහම ගැන අහපු ,විඳපු අත්දැකීම් ප්‍රමාණය.  ඉතාම ජනාකීර්ණ ටෙලවිව් නගරයේ හිටියේ  කාක්කෝ සහ අළු පාට පුංචි පරෙවියෝ වර්ගෙකුයි විතරයි. ඔය ජාති දෙක ඇරෙන්න මං වෙන කුරුල්ලෙක් දැක්කේ  හරිම කලාතුරකින්. ඒත් ගහ කොළ ,කෙත්වතු වලින් පිරිච්ච කොළ පාට අෆුලා වලදී රංචු පිටින් යන කුරුල්ලෝ , ගිරව් සහ නම් නොදන්න සෑහෙන කුරුල්ලෝ ප්‍රමාණයක් දැක්කා..  ඒ ගැන අෆුලා වලදී අඳුර ගත්ත (කියුබාවේ හැදීවැඩුණු යුදෙව් ) අසල්වැසි මිතුරියක් හරි අපුරුවට විස්තර කළා. ඇය කිවූ විදියට අපි අලුතෙන් ගෙයක් හෝ ඉඩමක් ,පදිංචියට යම් ස්ථානයක් මිලදී ගන්න කළින් බලන්න ඕනෙලු කොච්චර සත්තුන්ගේ හඬවල් ප්‍රමාණයක් ඇහෙනවද කියලා.විශේෂයෙන් කුරුල්ලන්ගේ.. කුරුළු වර්ග 4,5ක්  හෝ සැරිසරණ ප්‍රදේශයක් නම් ඒ ප්‍රදේශය ජීවත්වීමට ඉතාම සුදුසුයි ලු. එයට හේතුව විදියට ඇය කීවේ කුරුල්ලන් නිතරම ගැවසෙන්න කැමති  පිරිසිදු වාතය බහුල ප්‍රදේශ වල වීමලු. 

මේ  ලිපිය ලියන අතර වාරේ පරිසරය හරිම නිහඬයි ,ආච්චිත් නිදි අද සෙනසුරාදා නිසා පාරේ වාහනත් නෑ. මට ඇහෙන එකම සද්දේ කුරුළු සද්දම විතරයි...ටයිප් කරන එක නවත්තලා ඇස් පියන් අහගෙන ඉද්දි  ඒක හරියට රිලැක්සින් මියුසික් එකක්  වගේ. එක පාරට කුරුල්ලෝ දෙතුන් දෙනෙක් සද්දෙට කෑගහගෙන වහලේ උඩින් වේගෙන් යනවා..ආයේ අපේ ගෙට ගෙවල් දෙකකට එහා ඉන්න මොනරු  කෑගහනවා එකදිගට විනාඩි පහ හයක්.. ආයේ තව ලග ලග කෙටි ශබ්ද එක්ක  සැරින් සැරේ කෑගහන පුංචි කළු පාට කුරුල්ලෙක්ගේ හඬක්.. ගේ ඉස්සරහා කූඩුවේ  ඉන්න කුරුළු පැටව් දෙන්නා එළියට දාන්න දඟලන ඒ අම්මා එක්ක ඔට්ටුවෙන පැටව් දෙන්නගේ සද්දේ.. පොල්කිච්චෝ වගේ ටිකක් ලොකු කුරුල්ලෝ දෙන්නෙක් කෑගහන  හීනියට පටන් අරන් කන් අඩි දෙදරවන් යන සද්දේ..තව  කුරුල්ලෙක් කෑගහනවා හැමදාම මං තාම සතා දැකලා නෑ ඒත් මට හිතෙන්නේ එයා ගොඩක් දුකෙන් ඉන්න කුරුල්ලෙක්.. මුණත් එච්චර හරි නැතුව ඇති. තව සද්ද ගොඩයි.. ඔක්කොම එකින් එක මට විස්තර කරන්න පුළුවන්.ඒත් කියවන ඔයාලා හිතයි මට පිස්සු කියලා..


පෙබරවාරි 


මාර්තු 


අප්‍රියල් 

ඉහළ රූප තුන දිහා ඕනෑකමින් බලද්දී අපිට පේනවා එකම තැන වෙලා තියෙන විපර්යාසේ. පළමු රූපය මං ජොබ් එකට ආපු පළවෙනිම දවස පෙබරවාරියේ මුළ. හොඳටම වැස්ස ශීතල කොළ මොකුත් නැති කනාටු ගහකුයි ,මල් වලින් වැහිච්ච තව පොඩි ගහකුයි. මාර්තු වෙද්දී පොඩි ගහේ මල් වැටිලා කොළයි ගෙඩියි එන්න පටන් ගත්තා. ඒ පුංචි ගහ අනිත් සාමාන්‍ය ගස් වගේ නෙමේලු හදිස්සි කාරයෙක්ලු  වත්තේ අනිත් හැම ගහකම  කොළ හැලිලා ඒත් මේ ගහ ඉක්මනට මල් ඇවිත් ගෙඩිත් ආවා.ඔයාලා දන්නවා ආමන්ඩ්;මේ ගහ ආමන්ඩ් ගහක් තව ටික දවසකින් කඩාගන්න පුළුවන් මට. අප්‍රියල් වෙද්දී අර වේලිලා ගිහින් හිටපු ගහ පුංචි අතු ඉති දාගෙන ඇවිත් දැන් නම් හරිම ලස්සනයි.. යුරෝපයේ සහ ඝෘතු භේදය පැහැදිළිව දකින්න පුළුවන් රටවල අයට මේක හරිම සාමන්‍ය දෙයක්.


මිදි වැලක කොටසක් නොවැම්බර් වල 

වින්ටර් එක අලුත් වැස්සත් එක්ක මුළු වත්තම අලුත් පණක් ලැබිලා වගේ කොළ පාටවෙන්න පටන් අරන් ඒත් කොච්චර වැස්සත් වේලිච්ච දිරච්ච ගහක් විදියට මුලු වින්ටර් එක පුරාම මිදි ගස් (වැල් ම නෙමේ) ඉන්නේ නිදාගෙන. බැලූ බැල්මට කිසිම වැඩකට නැති කනාටු වෙච්ච ගහක් විතර්‍යි පේන්නේ.. 



ඒත් අප්‍රියල් මාසේ ඉවරවෙලා  වැස්ස නතර වෙද්දී,, එකින් එක පුංචි  අතු ඉති අලුතෙන් මිදිවැල් වැල් වල එන්න පටන් ගන්නවා.. ජුලි අගෝස්තු වෙද්දී අනිත් ගස්  වතුර නැතුව මලානික වෙලා පරිසරය පඩු පාටට හැරෙද්දි මිදි ගස් හැඩ වැඩ වෙලා කොල වලින් වැහෙන්න පටන් ගන්නවා.. රසපිරිච්ච මිදි පොකුරු වලින් ගහ පිරිලා වැක්කෙරෙන්න ගන්නවා,.. 
............................................................


උඩින් කියපු ගහයි,මිදිගහයි  ගැන ලියන්න හිතුණේ ඒවා දකිද්දී මගේ හිතට දැනිච්ච මං අවබෝධ කරගත්ත යමක් කෙටියෙන් ලියන්න හිතුණ නිසයි.  මිදිවැල් වල ජිවිත කථාව හරි ලස්සනයි.අපේ ජිවිත වගේ සමහර කාලවලට අපිට අපිවම එපා වෙනවා කිසිම විසදුමක් නැති ප්‍රශ්න වලට මැදි වෙනවා.අනිත් හැමොම හොදට සතුටින් ඉද්දි අපි දුකෙන්. කිසිම බලපොරොත්තුවක් පේන්න නෑ. අර උඩම තියෙන ගහයි වේලිච්ච  මිදි වැලයි වගේ .
 මන් හිත්න්නේ අපි මිදි වැල් සහ  ගස් දිහා බලලා පාඩමක් ඉගෙන ගන්න ඕනේ. ජීවිතේ ෂෘතු අපි අදුනගන්න ඕනේ. දුශ්කර සිසිරයේදී මිය යන්නේ නැතුව හිටියොත් ඊලග වසන්තයේ පලබරවෙන්න පුලුවන්. මිදිවැල් සිසිර ,සරත් කාළය පුරා වියළිව හිටියට එහෙම ඉඳන් කරන්නේ ගිම්හානයේ රස වෑහෙන මිදි වැඩිවැඩියෙන් හදන්න ඕනේ කරන ශක්තිය එකතු කරන එක. ජුලි අගෝස්තු වෙද්දී අනිත් තරගෙට වැවිච්ච සිය ගණන් පඳුරු ,ගස්  මලානික වෙද්දී මිදිවැල් හරිම තේජාන්විත විදියට කොළ පාටට බැබලි බැබලි ඉන්නේ ඒකයි.

ශුද්ධ බයිබලයෙත් නිතරම සඳහන් කරන වචනයක් මිදි වැල කියන්නේ.. සාලමොන්ගේ ගීතිකා අතර තියෙන එක් කොටසක්  මතක් වුණා ඔන්න ඔහේ ලියලා දානවා.  (දාවිත් රජුගේ පුතාසලමොන්)  
"මිදිවැල් නරක්  කරන සිවළුන් එනම් කුඩා සිවළුන් පන්නා දමන්න" . 
මේ කොටසේ  මිදි වැල සමාන කරන්නේ අපේ ජිවිතයට .කුඩා සිවළුන් කියන්නේ අපි නිතර කරන නවත්වන්න වරදක් කියලා දැනෙන්නේ නැති කුඩා පාප. මෙහිදී සලමොන් කුඩා සිවළුන් මිදිවැල් නරක් කරනවා කිවුවේ ඇයි කියන ප්‍රශ්නෙට උත්තරේ මට ලැබුණේ ඊශ්‍රායල් වලට ඇවිත් ඇත්තටම  මිදිවැල් තියෙන පරිසරයක ජිවත් වෙද්දී... රෑට නරි එලියට ඇවිත් ඇවිදිද්දී ...මිදිවතු  හරහා යද්දී ලොකු හිවල්ලු පිළිවෙලට මිදිගස්  අස්සේ නොයා පාරවල් වල යනවා ඒත් පොඩි  පැටව්  එහෙම නෑ සෙල්ලම් කර කර මිදි ගස්  අස්සේ දගල දගල යන්නේ.. එහෙම ගස් අතර දගලද්දී මිදි මල් හැලිලා පලදාව අඩුවෙනවලු...මේක  අහගත්තෙ  අර කළින් කුරුල්ලෝ ගැන කියපු කෙනාගෙන  නෙමේ  සීයා කෙනෙක්ගෙන්. කොහේදී හෝ අහළා තිබ්බ ඒ  බයිබල් පදේ එක්ක සීයාගෙන් අහගත්ත දේ එකතු කළාම ජීවිතේට පාඩමක් එකතු වුණා. මිදි වැල අපේ ජීවිතය නම් එහි පලදාව අඩුකරන කුඩා කුඩා පාප වලින් අපි ඈත් වෙන්න ඕනේ.

ප/ලි/වි.
සමාවෙන්න පහුගිය ලිපියේ ඔබෙන් ප්‍රශ්න අහලා පිළිතුරු ලබාගෙන  පෝස්ට් එකක්  නොලියා  හිටියට. පිළිතුරු  ලබාදීපු  මගේ යාළුවො ඔක්කොටම ස්තුතී

Friday, April 10, 2015

පෝස්ට් එකක් නෙමේ | but i want your comment

ඔයාලගෙන්  ප්‍රශ්න තුනක් අහන්න  ඕනේ.. කමෙන්ට් එකක් විදියට  උත්තරේ  දාන්න.. ඊට පස්සේ මං අද රෑට  මගේ  පෝස්ට් එක ලියන්නම්.



1. ඔයා දොඩම් ගෙඩියක්  ලෙලි ගලවන්න පටන් ගන්නේ කොහොමද? කොතනින්ද 

2. ටිපිටිප්  පැකට්  , බිස්කට්  පැකට්  වගේ  ඒවා  කඩන්න  පටන්  ගන්නේ  කොහොමද ?  කොතනින්ද?  

3.වැලක රෙදි  වනන්නේ  කොහොමද?  (රෙදි වැලක ඈ )

මේ ප්‍රශ්න තුනට  වැඩිය  නොහිතා  ඔබේ ක්‍රමය විතරක්  මට කියන්න 


ස්තුතී ,,,,

Wednesday, April 8, 2015

අම්මා love you mom

තාත්තා ගැන  මං නිතර ලියලා තියෙනවා ලිපි සහ කවි. අම්මා ගැනත් කවියක් ලියලා තියෙනවා. මං විතරක් නෙමේ ලෝකේ  හැමෝම තම නිර්මාණ වලදී අම්මා සහ තාත්තා කියන චරිත දෙකට ගෞරවාන්විත ඉඩක් වෙන් කරනවා.. අපි ඒ දෙන්නට  හරිම ආදරේ නිසා. පුංචි කාලේ අම්මා ගැන රචනාවක් ලියද්දි අනිවාර්යෙන්ම  ලියනවා අම්මා මට ගොඩක් ආදරෙයි,මාත් අම්මට ගොඩාක් ආදරෙයි කියලා. මාත් මගේ අම්මට ගොඩක් ආදරෙයි.ඇත්තටම පොඩි කාලේ නොදන්න කමට සහ  අම්මා මගෙන් වෙන් වෙලා පිට රට හිටපු නිසා  මං වැඩියෙන්ම ආදරේ කලේ තාත්තට. ඇත්තම කිවුවොත්  උසස් පෙළ කරන වයසෙදි  පවා මං වැඩියෙන් ආදරේ කලේ තාත්තට. ඒත් පහුගිය වසර කීපය තුල අම්මට මං ගොඩක් කිට්ටු වුණා. එයාගේ ආදරේ තේරුම් ගත්තා. 


අපේ අම්මා ටිකක් වෙනස් කෙනෙක්  එයාගේ වචන හරියට දෙපැත්ත කැපෙන  තියුණු පිහිතල වගේ කියන්න ඕනේ එක මහරජ්ජුරුවන්ට වුණත් කියන කෙනෙක්. වලි වලටත්  පප්පා ,,වලි කාපර්.. ඒ සද්දෙට කෑගහලා නෙමේ හිත කුඩුවෙන වචන කියලා අනිත් මනුස්සයගේ අභ්‍යන්තරය කූඩු කිරීම පැත්තෙන්. තාත්තා නැතුව අපි දෙන්නා වෙනුවෙන් එයා කරපු කැපකිරීම් වල තරම හිතාගන්න බැරි තරම්. තාත්තා ගැන මං ලියපු ලිපිය මතකයේ තියෙන මගේ යාළුවො දන්නවා ඒ කථාව. තමන්ගේ පුංචි දරුවව, ආදරණීය සැමියව දාලා නොදන්න රටක දුක් විඳලා විඳලා එද්දී  තමන්ගේ ආදරේ වෙන කෙනෙක් උදුරගෙන කියලා දැනගත්තම අම්මට දැනුන දුක කොච්චරක් වෙන්න ඇද්ද මං දන්නේ නැහැ. 
ඇත්තටම ඒ අතීත කථාව හරිම කටුකයි.. ඒ ගැන  ලියන්න  ඕනේ නැහැ. මේ සියල්ල ගැන තනිවෙලා පැය ගණන් හිතද්දී ...ඇත්තම කීවොත් මීට අවුරුදු දෙකකට කළින් කඳුළු පෙරාගෙන  තාත්තා ගැන ලිපිය ලීවට පස්සේ මට හීන් දාඩිය දැම්මා මගේ අම්මා මතක් වෙලා..ඔන්න දැනුත් උගුර ටිකක් රිදීගෙන එනවා.. මං අපේ අම්මට ගොඩක් ආදරෙයි ...ගොඩම ගොඩක්.. මේ වචන ලියද්දි මගේ හිතට මාර සැහැල්ලුයි.. ඒ කාලේ අම්මට දෙන්න බැරිවෙච්ච ආදරේ දැන් මං එයාට දෙනවා.. ඒකෙ රසේ  ඔයලාට තේරේවිද මං දන්නේ නැහැ. දවස් දෙකකට සැරයක් අම්මා පැය පැය වගේ ස්කයිප් එකෙන් කතා කරනවා. ගෙදර හිටියනම් අපිදෙන්නට වෙලාව නැහැ කතා කරන්න.. අම්මගේ වැඩේ බයින එකනේ ගෙදරදී  දැන්  බයින්නෙ නැහැ රටේ ලෝකේ ඔක්කොම කේලම් ටික මාත් එක්ක කියන එක තමයි දැන් වැඩේ.. 

අපේ අම්මා හරිම  ජෝකර් කෙනෙක්  ඒ වගේම සල්ලි හොයන වැඩ වලට හරිම කැමතියි. ගමේ සමිති සමාගම් වල ලේඛම් අම්මා. මරණාධාර සමිතියේ භාණ්ඩාගාරික. මගේ අහිංසක  බයික් එකේ තමයි අම්මා දවස ගෙවන්නේ. අපේ අම්මා කවදාවත්  ඩෙනිමක් ,ජීන්ස් එකක් ඇදලා නැහැ.දිග සායවල් මයි අඳින්නේ.  එයා හරිම ශෝෂල් කෙනෙක් ඒ වගේම එඩියුකේට්...මට වඩා හොඳට  ඉංග්‍රීසි කතා කරනවා හැබැයි ඇඳුම පැළඳුම හරිම සංවරයි. අපේ ආච්චි අම්මා නිතරම කියනවා මං මේ පවුලේ කෙනෙක් නෙමේ කියලා. එහෙම කියන්නේ ඔය දේවල් හින්දත් වෙන්න ඇති. 
  • ඇන්තූරියම් මල් හදන පිස්සුවක් 
  • ඕකිඩ් පිස්සුවක් 
  • බට් අඹ පිස්සුවක් ඇතුළු පලතුරු ගස් සිටුවීමේ 
  • වල්ල පට්ටා හොයන පිස්සුවක් 
  • වාහන බයින්ග් and සෙලින් පිස්සුවක්
  • හාවෝ හදන පිස්සුවක්
  • ලව් බර්ඩ්ස් සහ මාළු  හදන පිස්සුවක්
  • මැෂින් එකක් අරන් මිනිස්සු දම්මලා බ්ලොක් ගල් ගහන පිස්සුවක්
  • බල්ලෝ හදන පිස්සුවක් 
  • සාරි බ්ලවුස් පතොරම් ,මල් සැරසිලි පිස්සුවක්
ඔය කාලෙන් කාලෙට එන හැම එකම අපේ අම්මා කරන්න ගන්නවා ආසාවෙන් ටික දවසකින් එපා වෙනවා. හැබැයි බල්ලෝ  හදන එක නම් දැන් එපා වුණේ නෑ අවුරුදු එකහමාරක් දෙකක් විතර. ඉතින් අද ලියන්න හිතුණා අම්මා  කරපු හිනා යන වැඩක් ගැන. දවසක් අලුතෙන් බල්ලෙක් ගෙනත් "රොට් වයලර්"" කිවුවා රේස් එක. ස්කයිප් එකෙන් පෙන්නුවා කළුම කළු යකෙක් වගේ බලු පැටියෙක්. දැන් එයාට ඕනේ බල්ලට නමක් දාන්න. මං කිවුවා 
"හා මං කෝල් කරලා කියන්නම්කො  යාළුවන්ගෙනුත් අහලා හොඳ නමක් "

"නිකන් හුරතල් නමක් නෙමේ මට ඕනේ"

"එහෙනම් " වස නමක්ද  මං ඇහුවා 

"නෑ නෑ පැතුම්ලගේ  ඪැල්මේෂන් එකාට දාලා තියෙන්නේ "ප්‍රාඩෝ " මට ඕනේ ඊට වඩා ගණන් වාහනේක නමක් "

හිනාවෙලා පණ ගියා,අම්මට ගාණක්වත් නෑ.
මං කිවුවා "ලැම්බෝගිනි" කියලා දාමුද ???  

"ඊයා ඒක කැතයි වෙන එකක් ඕනේ", 
ෆෙරාරිත්  ඊයා කිවුවා.
ඊට පස්සේ අපේ මල්ලි කරලා තියෙන වැඩේ බල්ලට "ස්කූටී" කියලා කතා කරලා ඒකට හුරුකරන්. අපේ අම්මට හොඳටම කේන්ති. අච්චර ගාණක් දීලා ගෙනාපු බල්ලට අන්තිමට දැම්මේ  ලාබම බයික් එකක නමක්.
............................................................
මේ  මාස දෙකකට කලින් ස්කුටීගේ දුවත් එක්ක අපේ අම්මා
මල්ලිගේ කමෙන්ට් එක මැකුවේ මේකගෙ  කට හරි නැති නිසා 

කොහොමහරි පස්සේ පස්සේ මාත් කාලයක් බැනුම් ඇහුවා වැදගත් නමක් හොයලා දුන්නේ නැහැ,එයා දෙයක් කරන්න පටන්ගද්දී ඒකට වචනෙකින් වත් උදව් කරන්නේ නැහැ කියලා. කාලයත් එක්ක ගෙදර බල්ලයි කොල්ලයි දෙන්නා මාරුවෙන් මාරුවට උණ හෙම්බිරිසාව හදාගද්දී අම්මා තමයි දෙන්නටම උපස්ථාන කරන්න හිටියේ. 
දවසක් මල්ලි අම්මා එක්ක රණ්ඩුවෙලා ස්කයිප් එන්න කියලා ඇඩුවා,මාත් විත්තියේ සහ පැමිණිල්ලේ කථා දෙක සාවදානව අහන් ඉන්න පුරුදුවෙලා හිටියේ ඒ වෙද්දී.මේකයි සිද්දිය මල්ලිට අසනීප වෙලා ඊයේ අම්මා පස්පංගුව සමහන් ඒවා මේවා දීලා කොල්ලට ඉක්මනට සනීප වෙලා. ඊට පස්සේ මල්ලි අම්මගෙන් රුපියල් පන්සීයක්  ඉල්ලලා. බෙහෙත් ගත්තනම් යන සල්ලි කියලා.

"බල්ලට චුට්ටක් අමාරු වුණ ගමන්  ඩොක්ටර් ගාවට ගෙනියලා දාහේ කොළ වලින් ගෙවන්නේ මට  අමාරු වුණාම ගාණක් නෑ..

"රුපියල්  විස්සක් වත් ගියේ නෑ හොඳ වුණා තිත්ත බෙහෙත් බීලා. ඇයි එයා මට එහෙම කරන්නේ !!!"

ඉතින් දැන් මොකක්ද වෙන්න ඕනේ අසේල? මං හිනාවෙවී ඇහුවා 

"වහිනවා එලියට බහින්නත් බෑ ඒ හින්දා උණ බහිනකල් නෙට් යන්න ඉන්ටර්නෙට් කාර්ඩ් එකක් දාගන්න සල්ලි ඉල්ලුවේ "



කපටි වචන ෆිල්ම් එකක වගේ මූ කියෝගෙන යද්දී මට හිනා හොඳටම. අම්මා කතා කරන්න ගද්දි මං දන්නවා ඉතින් ෂෝට් and ස්වීට් උත්තරයක් කියලා.
" අසේල ඔයාගේ ප්‍රශ්නේ ////"බල්ලද අම්මේ වටින්නේ මන්ද ඔයාට?? //

"බල්ලව ගත්තේ 45000 කට. ඔයාව මට නිකන් හම්බුණේ .ඉතින් සල්ලි වලින් බැලුවොත් බල්ලගේ වටිනාකම වැඩියි "
........................
ප/ලි

අම්මගේ  විහිළු කතා ගොඩක් තියෙනවා පස්සේ ලියන්නම් එයාට තාමත් ලයිසන් නැහැ පොලිසියට තුන් පාරක්ම අහුවෙලා ගෙදර ඇවිත් ඒ කතා රසකර කර කියපුව ලියන්නම්කෝ.

Monday, April 6, 2015

වැඩිහිටියන්ගේ අපූරු ලෝකය


"අපිට තමයි වතුර පනිට්ටුවක් වත් ඇදලා දෙන්න බැරි!!! 
 තුන්සිය හැටපස්  දවසෙම ඔය ඉන්නේ අපුරුවට නාකියෙක් එක්ක" 
 ස්කයිප් එකෙන්   අම්මා එක්ක ජොබ් එකේ අමාරුකම් කියද්දී  ආච්චි අම්මා  නිතර මට නෝක්කාඩු කියනවා ඔය විදියට. ඒත් ඒක ඇත්ත නෙමේ  ලංකාවේදී මං නිතරම ආච්චි අම්මට සීයට උදව් කරා. 
වතුර  ටැප් කරලා තිබ්බට ආච්චි අම්මට  ඕනේ පල්ලෙහා තියෙන ලිඳෙන් අමාරුවෙන් ඇදලා නාන්න. 
"මොටරේ  ඇතුලෙන් එන ජරා වතුර  මට නාන්න ඕනේ නැහැ "එයාගේ උත්තරේ.
එයාට නාන්න ඕනේ වුණාම කරන්නේ වේලාසන ඉඳලම ඇඳුම් ,සබන් ,පනිට්ටුවක් එහෙම ගේ ඉස්සරහින් තියලා  අපි හැමෝගෙන්ම අහනවා කවුද එන්නේ මට වතුර ඇදලා දෙන්න? අපේ මල්ලි  කරන්නේ "අම්මා කඩේ යන්න කිවුවා ගිහින් ඇවිත් නාවන්නම් " කියලා මාරුවෙලා මාමගේ පුතාව හරි දුවව හරි කාවහරි   අපේ ගෙවල් පැත්තට එවන එක.. ඉතින් ආච්චි අම්මා එයාලගෙනුත් අහනවා.ඔය අතරින් කවුරුහරි කැමති වුණත් ආයේ එයා කියනවා "දැන්ම නෙමේ තව පැය කාලකින් විතර වරෙන් පුතේ " ඕක  දන්න නිසාම අපි හැම තිස්සෙම කියනවා  "ආ එන්න එන්න  ආච්චි අම්මේ මේ දැන්  යන්  "කියලා . 
ඇත්තටම  ඒ කාලේ ආච්චි අම්මා කරන වැඩ අපිට දිරවුවේම  නැහැ, එයාටත් එහෙමයි නිතරම අපේ වැරදිමයි දැක්කේ..
ඒ කාලේ අපිට විතරක් නෙමේ අපේ අම්මලට ,පුංචි අම්මලට පවා ආච්චි අම්ම කියන සමහර කතා අහන් ඉන්න බැහැ. ආච්චි අම්මා තාමත් ඒ වගේම තමයි. 
ඒ කාලේ මට තේරුම් ගන්න බැරිවෙච්ච ආච්චි අම්මව දැන් හොඳට තේරෙනවා. මගේ රැකියාව නිසා ජීවිතේට ලැබෙන්නේ සල්ලි විතරක් නෙමේ.මහ පුදුම අත්දැකීම් ගොඩක්... දරාගන්න බැරි තරම් කටුක තැන් වලදී අඬලා පහුවදා ඉදන් ඒ මට්ටමෙන් එහා කටුකත්වයට මං සුදානම් වෙනවා.
ඔයාලට මතක ඇති ඉවසන සෙල්ලම කියලා පෝස්ට් එකක් ලිවුවා "බීතොන්" ගැන. එයා මගේ ජිවිතේ ගොඩක් දේවල් උගන්නපු ,ශක්තිමත් කරපු කෙනෙක්.නමුත් අවුරුදු එකහමාරක් එකට ජිවත් වෙලා ඒ සීයව  දාලා එන්න හිත හදාගත්තේ  ඝෝෂාකාරී  ටෙලවිව් නගරයෙන් ඈත් වෙලා ජිවිත කාළය පුරා ආස කරපු ඊශ්‍රායලයේ අනන්‍යතාවන් ඇස් වලින් දැකගන්න.
සිවිලියා ඩේවිඩ් ,
ස්ලෝමෝ බීතොන්, 
කර්මේලා ෆල්ක් , 
ඔzනාත් තෝර්ජමන්,
කල්‍යාරා  පෙරීසි, 
එලිශෙවා කවුෆ්මාන්(වර්ථමාන)

මේ හය දෙනා වසර 3ක කාලයක් ඇතුළත මගේ ජිවිතේ ගොඩක්  වෙනස් කළා. වටිනාදෙවල්  එකතු කළා වගේම ජිවිතේ අපායක් කියලා හිතෙන දේවල් කළා...සිවිලියා ඩේවිඩ් එක්ක මං අන්තිමට කතා කල වචන ටික ඔබටත් මතක හිටීවි මට වගේම.
"දෙකට කපලා ජනේලෙන් එළියට විසිකරනවා තමුන්ව" ඒ කථාවට බය වෙච්ච ඩේවිඩ් 
"කරුණාකරලා මට පුතාගේ ෆෝන් නම්බර් එක ඩයල් කරලා දෙන්න එයාට මේ ගැන කියන්න ඕනේ"
 කිවුවා .මාත් පුතාගේ නම්බර් එක ඩයල් කරලා දුන්නා.(ඉයර් පීස් එක වැඩිකරලා දුන්නේ මටත් අහගන්න ඕනේ නිසා )මං කියපු කථාව ළුණු ඇඹුල් සමග පුතාට කියද්දී පුතා හිනාවෙලා නිකන් හිටියා. එතනින් ආයුබෝවන් කියලා ආවට අදටත් මං දුක් වෙනවා. ඒ අර ගෙදරදී ආච්චි අම්මා එක්ක රණ්ඩු වේවි ඉඳලා ආපු අවබෝධයක් බරක් පතලක් නොතේරිච්ච දවස්.

තමන්ට වඩා තුන් ගුණයක් විතර වයසින් වැඩි.... අවුරුදු අසු පහ අනුව ඉක්මවූ කෙනෙක් එක්ක තනිව එක ගෙදර හැම  මොහොතක්ම එකට ජිවත් වෙන එක ලේසි දෙයක් නෙමේ..
ගමේ කොල්ලෝ එක්ක වලබැහැපු, හැම වලියකටම සෙට් වෙච්ච, මියුසිකල් ෂෝ , ක්‍රිකට් මැච් එක්ක ජිවත් වෙච්ච කොල්ලෙක්ව එක දවසක අල්ලගෙන ගිහින්  මහන කරලා සිවුරක් ඇන්ඳුවොත් මොනවගේ දැනෙයිද?? මටත් වුණේ ඒ වගේ දෙයක්... 
දවස පුරාම බයික් එකෙන් එහෙ මෙහෙ ගිය, සද්දෙට අඩි තියලා ඇවිදපු මං තට්ටු ගාණක් උඩ තිබ්බ  ජනේලයක් ,දොරක් අරින්නේ නැති ගෙදරක අවුරුදු 88 ක සියෙක් එක්ක.


ඉහතකී  පුද්ගලයන් හය දෙනා සමග මගේ අත්දැකීම් ලියන්න නෙමේ  මට අවශ්‍ය ඒ අය සමග ජිවත් වීම තුළින් වැඩිහිටියන්ගේ සිතුම් පැතුම් ,ආශාවන් ,හැසිරීම් ගැන සහ ලෝකයෙන් ඔවුන්ට තවත් ලැබිය යුතුයැයි මා විසින්  තනිව කල්පනා කල දේවල් ඔබ සමග බෙදා ගැනීමටයි මට අවශ්‍ය. 

ඔබ සමහරුන් දන්නවා ඇති  "ඩිමෙන්සියා(Dementia )සහ අල්සයිමර් (Alzheimer)" කියන තත්වයන් ගැන. ඉහත ලින්ක් වලින් වැඩිදුර විස්තර අවශ්‍ය අයට තොරතුරු කියවන්න පුළුවන්.කෙටියෙන් කීවොත්  ඩිමෙන්සියා කියන්නේ පුළුල් පරාසයක පැතුරුණු මොළයේ රෝග තත්වයක්..එහි රෝග ලක්ෂණ වෙන්නේ ක්‍රමක්‍රමයෙන් සිතීම සහ මතක තබාගැනීමෙන් හැකියාවන් දුර්වල වී යාම...ඩිමෙන්සියා විවිධ අවධි සහ මට්ටම් කීපයකට බෙදා දක්වලා තියෙනවා. අල්සයිමර්  ඉන්එහා ගිය තත්වයක් ඩිමෙන්සියා රෝගීන්ට වඩා අල්සයිමර් රෝගීන් ගේ තත්වය අසීරුයි. ඔවුන්ගේ මොළයට විශාල ලෙස හානි වී අවසන්. 


 අල්සයිමර් තත්වයේ ඉන්න කෙනෙක්ට එයා කරන කියන දේ ගැන මතකයක් අවබෝධයක් නැහැ. අඩුගානේ එයා කාපු බවවත් එයා දන්නේ නැහැ.අතීතයේ යම් යම් මතක වර්ථමානයට ඒම සහ  වර්තමානයේ තමන් කරන කියන දේ සහ තමන් කවුද කියන දේ අමතකවී යාම කොච්චර අවාසනාවන්ත කාරණාද.

දැනට මං රැකියාව කරන එලිශෙවා වයස අවුරුදු 88 ක ආච්චි අම්මා කෙනෙක්. අවුරුදු 12 දී  ජර්මනියේ ඉදලා මේ රටට ආපු එලිශෙවාගෙ අම්මා තාත්තා අයියා අක්කා මුළු පවුලම දෙවන ලෝක යුද්ධ සමයේ හිට්ලර් ගේ වධකාගාර වලදී ජීවිතේට සමුදුන්නා.  මීට අවුරුදු 2කට  කළින්  ඇය විසින් සියළුම චායාරූප සහිතව තමන්ගේ ජීවිත කතාව ලියලා පොතක් පළකරලා තියෙනවා.
අම්මා තාත්තා නැතුව තනිවම ජිවිතේ පටන් ගත්ත එලිශෙවාගේ කථාව පසුව ලියන්නම්.

පස්සේ ලියන්නම් කීවට ලිපිය අවසන් කරන්න කලින් එලිශෙවා පාස්කු දවසේ කරපු දෙයක් ලියන්න හිතුණා. සෙනසුරාදා අපි දෙන්නා දුවගේ ගෙදර ගිහින් ඇවිත් හවස නිදාගද්දී 4 යි වෙලාව.වෙනද නම් 2 ට නිදාගන්නවා. හවස 6 ට ඇහැරවන්න කියපු නිසා එයාගේ කාමරේට ගියත් පොඩි එකෙක් වගේ නිදන් ඉන්නවා දැක්කම මට ඇහැරවන්න ලෝබයි. ආයේ සැරින් සැරේ බලලා බලලා අන්තිමට රෑ 7 ට කතා කළා.  නැගිට්ටට 7.30 වෙනකල්ම ඇඳේ ඉඳලා 7.30 ට තමයි මුණ කට එහෙම හෝදන් කිචන් එකට ආවේ.
හවස් වෙච්ච නිසා එයාට රෑට දෙන කෑම දීලා රෑට දෙන බෙහෙත් දීලා බොන්න කිවුවම වෙලාව බලලා එහෙම එලීශෙවා කියපි
"ඕවා රෑට බොන බෙහෙත් තාම උදේ 8.30 යි "

"නෑ නෑ මේ රෑ ...ඔයා නිදාගත්තා වැඩි අද ඒකයි ඔය"

එයා ඉතින් නෑම තමයි කියන්නේ. මං ඊට පස්සේ කිචන් එකේ ලොකු ජනේලේ ඇරලා කිවුවා
"හරි වැඩේ තමයි තාම ඉර පායලා නෑ මාර කරුවලයි ඇයි දන්නේ නෑ දැන් 8.30 ත් වෙලා" 

ඊට පස්සේ කිසි සද්දයක් නැතුව එයාම බෙහෙත් පෙති දෙක අරන් බිවුවා.මං මොකුත් නොවුණා වගේ සාමාන්‍ය විදියට කතා කළා ඊට පස්සේ.
......................


 ළමා ලෝකය ,පෙම්වතුන්ගේ ලෝකය වගේම ආච්චිලගේ  සීයලාගේ ලෝකයත්  හරිම සුන්දරයි. බැලූ බැල්මට පේන්නේ තිත්ත අන්ධකාරයක්. ඒත් අපිට පුළුවන් එයාලව තේරුම් අරන් එයාලට සතුට දෙන දේවල් කරන්න. වයසට ගියාම මිනිස්සු පොඩිලමයි වගේ වෙනවා කියලා පහුගිය දවසක අපේ tv එකේ කීවම එලීශෙවා මට කිවුවේ ඒ කථාව අර්ථ විරහිතයි කියලා.
එලීශෙවාගේ පැහැදිළි කිරීම මේ තියෙන්නේ
"පොඩි ළමයි නොදන්න කමට හැමදේම වේගයෙන් ඇදලා දානවා. ඒත් වයසට ගිය කෙනෙක්ට අත දරුවෙක් වගේ වේගයෙන් එක එක දේවල් කරන්න බැහැ...හිමින් හිමින් කරන්නේ..ඒ වගේම දෙයක් වැටුණොත් කැඩුනොත් ඒ දේ වෙන්නේ නොදන්න කමට අත පත ගාන්න ගිහින් නෙමේ හරියට අල්ල ගන්න වාරු නැතිකමින් ශක්තිය මදි කමින්"...

_මතු සම්බන්ධයි -



Thursday, April 2, 2015

කුරා බාප්පා සමඟ මොරෝක්කන් ජෝර්ක්

උදේ  අම්මා  කෝල් කරපු වෙලේ කිවුවා අපේ ගෙවල් ළඟ සීයා කෙනෙක් නැතිවුණා කියලා එයා අපේ පවුලේ කෙනෙක් නෙමේ අසල් වැසියෙක් විතරයි. කෝල් එකෙන්  පස්සේ  මටත් නොදැනිම මං අතීතෙට යනවා, ඒ වෙච්ච සමහර දේවල් වලට එහෙම වුණේ ඇයි කියලා හේතු හොයනවා. අන්තිමට මේ වැඩේ හරියන්නේ  නෑ සීයා ගැන මතක්වෙච්ච ටිකක් ලියලා දාන්න ඕනේ කියලා හිතුවා.  
එයාගේ නම මොකක්ද කියලා අද වෙනකල් මං දන්නේ නැහැ කවුරුත් කිවුවේ "කුරා බාප්පා " කියලා. කවුරුත් කියන්නේ අපේ ආච්චි අම්මා  ,අම්මා වටේ පිටේ ගෙවල් වල අතදරුවා හිටං කිවුවේ කුරා බාප්පා,කුරා  බාප්පා කියන්න විද්‍යාත්මක හේතුවක්නම් නැහැ හොඳ සද්ධන්ත මනුස්සයා. එයාගේ  හාමිනේ නම් චුටීම චුටියි.(ඒකටත් ගමේ කට හැකර එකාලා එක එක එවුවා කිවුවා)  කුරා බාප්පා උපන් ගම හක්මණලු. ඉස්සර හක්මණ ගැන හරියට ලොකු කතා එයා කියනවා..මං හිතං හිටියේ  හක්මණ කියන්නේ  සිංගප්පූරුව වගේ ඇති කියලා  පොඩිකාලේ ඉතින් තේරුමක් නැහැනේ.. 


ඉතින්  මේ  සීයා ගමේ ප්‍රසිද්ධවෙලා හිටියේ  අළුත් අළුත් අයිටම් ගමට ගේන කෙනෙක් විදියට.එයා රජයේ දෙපාර්තමේන්තුවක වැඩ කලේ. මට මතක ඉස්කෝලේ  දෙකේදී වගේ වෙච්ච දේවල් විතරයි  හැබැයි. සමහර කතා අපේ අම්මා කියපුවා. ගමට මුළින්ම රේඩියෝ එකක් ගෙනත් තියෙන්නේ ඔය කුරා බාප්පා තමයි. ඒ  කාලේ අපේ අහළ පහළ කිසිම ගෙදරක රේඩියෝ තිබිලා නැහැ හවසට කට්ටිය මුවන්පැලැස්ස අහන්න එහෙ යනවලු. කුරා බාප්පා එයාගේ  බල්ලට නම දාලා තියෙන්නෙත් කදිරා කියලා හි හි..

කොහොමහරි මං ඉස්කෝලේ  තුනේදී තමයි අපේ ගමට කරන්ට් එක දුන්නේ ප්‍රේමදාස  මහත්මයා... කරන්ට  එක දෙනවා කියලා ඒ උත්සවේට අපි මාසෙකට කලින් ඉදන්  නැටුමකුත් පුරුදු වුණා ජනාධිපති තුමාව පෙරහරෙන් එක්කන් එන්න..  ඒ නැටුමට යන්න මට කළයක් ලස්සනට  හදලා දුන්නේ කුරාබාප්ප තමයි..  කරන්ට් එක දීපු  දවසෙම  ගත්තේ  ගමේ ගෙවල් කීපයක් විතරයි. අපේ තාත්තටයි මටයි  නම් ගාණක් වුණේ නෑ. අපි දෙන්නගේ  කාර්ඩ් බෝර්ඩ් ගෙට මොන ලයිට්ද... 

ඉස්සරහයි පිටිපස්සෙයි දොරවල් දෙක ඇරන් නිදාගද්දී  ෆුල් ඒසී.. බල්ලෙක් බුරන සද්දයක් ඇහුණොත් දෙන්නත් එක්කම එලියට යනවා බලන්න.. තාත්තා එහෙම එලියට යද්දී මාව එයාගේ වම් උරහිස උඩින් ඉන්දෝගෙන අරන් යන්නේ  හම්මේ  ඇතා පිටේ  යන නිළමෙ කෙනෙක් වගේ හෙනම ගැම්මෙන්  තමයි ඉතින් මං ඉන්නේ. අපි දෙන්නා රෑ දෙකට තුනට හරි එළියට ගියොත්  විනාඩි දහයක්  පහළවක් අහස දිහා බලන් ඉඳලා තමයි ආයෙම ගෙට එන්නේ....තාත්තා කියපු විදියට තරු වල මිනිස්සු නෑ ඒවල  එළිය වැඩි හින්දා.. ඒත් අඟහරු කියලා ග්‍රහලෝකෙක අපිට වඩා මිටි මිනිස්සු ඉන්නවා.. 

කුරා බාප්පා ගැන ලියන්න ඕනේ පඳුරු තැලිල්ල නවත්තලා.  මේ කුරා බාප්පා හරි ආටෝප වැඩ කරන කෙනෙක් ගෙදරට කන්න නැතත්  රටේ ලෝකේ මිනිස්සුන්ට පේන්න හරියට අනවශ්‍ය දේවල් වලට වියදම් කරනවා. අවුරුද්දට දෙතුන් පාරක් ගෙදරට තීන්ත ගානවා. රේඩියෝ එක අරන් තිබ්බෙත් අවුරුද්දට ලැබිච්ච බෝනස් එක වගේ දීමනාවක් පවා සම්පුර්ණම වියදම් කරලා.  ගමට මුලින්ම  කළුසුදු චුටි ටීවී එකක් ගෙනාවෙත් එයා.  ටීවී  එක ගෙනාවේ කොයි  කාලේද මට හරියට මතකයක්  නෑ.. මොකද මේ කියන කරන්ට් එක හම්බෙච්ච  කාලේ තමයි අපේ තාත්තා හිරේ ගියේ අවුරුද්දකට. ඒ අවුරුද්දේ මං හිටියේ  බටුවත්තේ ආච්චිලගේ දිහානේ.ඔයාලා දන්නවනේ ඒ කථාව. (මට මතක කදිරගේ බැලුමක්කෝ කාගෙන කස කසා  නයිට්‍රයිඩර් බැලුවා කියලා විතරයි. ඔය කාලේ  අපේ පොඩි සෙට් එක කතා වුණත් එක්ක ඔය බලු නකුටව කොහේ හරි ගෙනියලා අතරමං කරලා එන්න..ඒත් ඒ වැඩේ කරන්න බැරි වුණා අපිට. ) 

කුරා බාප්පා ගැන මේ  කථාව කිවුවේ අම්මා. කුරාබාප්පට ලුමාලාද , රැලේ ද කියලා  බයිසිකල් එකක් තිබ්බලු. ඔය බයිසිකලේ කඳු වල ,පල්ලම් වල මෙයා තල්ලු කරන් තමයිලු යන්නේ... කවදාවත් වලකවත් වැටෙන්න දෙන්නේ නැහැලු..හැමදාම උදේ හවස කණ්නාඩිය වගේ වෙන්න පිහිනවලු. ටයර් හිටං.. දවසක් මෙයා මිනුවන්ගොඩ ගිහින් කඩයක් ඉස්සරහා සයිකලේ නවත්තලා ඇතුලට ගිහින් එළියට එද්දී  සයිකලේ නැහැලු..මෙයා  බයවෙලා කෑගහද්දී වටේ පිටේ හිටපු අය කියලා තියෙනවා
කවුද 
 "උස මහත කොල්ලෙක් පැදගෙන ඔය පැත්තට ගියා" 
කියලා... ඊට පස්සේ  කුරාබාප්ප අහලා 

"හයියෙන්ද ගියේ ???"

"හයියෙන්දත් අහනවා ....පැද්දා පැදිල්ලක්.."
නළලේ අත ගහගත්ත කුරා බාප්පා කිවුවලු 

"ඔතනින් එහාට පාර ගන්න දෙයක් නෑ වලවල් වල දාලා සයිකළේ රෝදේ බකල් කරයිද දන්නේ නෑ.මං සයිකලේ අපේ කොල්ලට වත් දෙන්නෑ ඔකුන්ගේ කිසි පරිස්සමක් නෑ " කියලා.

................................................

මේ දෙවනි කථාව. මේක දැන් හම්බුණේ  කුරා බාප්පා වගේම කෙනෙක් ගැන.එවුවේ ආච්චිගේ දුවගේ දුව. ඊශ්‍රායලය ඇතුළේ ඉන්න එක එක රටවලින් ආපු ජුවිස් අය ගැන එක එක විහිළු  කතා තියෙනවා. යුරෝපෙන් ආපු ජුවිස්ලා නිතරම මොරෝක්කෝව වගේ රටවල ඉදලා ආපු අයට කින්ඩි දානවා  මෝඩයි කියලා. මේකත් ඒ වගේ කථාවක් .

දැන් 4;35  යි උණු උණු ජෝක් එකක් මේක මට එවුවේ 4;16 ට
මං මහගොඩක් හිබ්රු දන්නේ නෑ නමුත් ජෝක් එක එකෙම්ම කියෝගන්න පුලාන් වුණා.

කුරා බාප්පා වයසම කෙනෙක් ගැන නිසා එයාගේ චරිතෙට ආදේශ කරලා අපිට සෙට් වෙන විදියට ලියන්නම්කො.

"කුරාබාප්පා ෆෑන් එකක් ගෙනත්" ස්ටෑන්ඩ් ෆෑන් එකක්..
ඉතින් ෆෑන් එක සාලේ කෙළවරකින් එයාගේ පුටුවට ෆෝකස් කරලම හිටෙවුවලු.  දවසම හිටියේ  පුටුවෙලු. ඉරිදා උදේ ඉඳළා කොහොමහරි හවස් වෙනකල්ම ෆෑන් එක දාගෙන tv එක දිහාබලාගෙන ඉඳලා.
 කාටවත් එයාගේ පුටුවේ ඉඳගන්න දීලත්  නැහැ.හවස් වෙලා ඇඟ හෝදගන්න ලිඳට යන්න කලින් වයිෆ්ට කියලා තියෙනවා මං ගිහින් එනකල් මේක අල්ලන්න වත් එපා කියලා. කොහොමහරි කුරාබාප්පා ලිඳට ගියවෙලේ වයිෆ් ඕක අතපත ගාලා තියෙනවා.. අර ෆෑන් එකේ උඩ තියෙන්නේ හෙඩ් එක කැරකෙන එක කන්ට්‍රෝල් කරන ලොකු ස්විච් එක ඕක මෙයාගේ අතින් එබිලා. හෙඩ් එක කැරකෙන්න ගත්තලු. වෙච්ච දේ ගැන වයිෆ්ට හිතාගන්න බැරිවෙලා..කැරකෙන්න ගත්තට පස්සේ ලඟට යන්නත් බය වෙලා.. කොහොමහරි කුරාබාප්පා ඇවිත් ෆෑන් එක දැකලා වයිෆ්ට කෑගහලා ඇහුවලු 
"මොනාද ඔහේ මගේ ෆෑන්  එකට කරේ ???

"අනේ මන්දා අනේ ඔයා ලිඳට ගියාට පස්සේ පටන් ගත්තේ...මං ඒත් හිතුවා ඔයාව හොයනවා ඇති කියලා "

............................................................
කුරාබාප්පා ගැන කතා පස්සේ ලියන්නම් තව. 


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...